28/04/2026
ඔයා " සැදැහැවත්" බෞද්ධයෙක් නම් මේ ලිපිය ඔයාට නෙවේ. මොකද සැදැහැවතෙක් මේ මේ ලිපිය කියවලා ලේ කෝප කරගන්නාවට මම කැමති නෑ.
එ වගේම මේ ලිපිය ලියන්න කලින් මම සාම පා ගමනේ පෙරගමන් කරු වන පඥ්ඥාකාර හිමියන්ගෙන් නමස්කාර පූර්වකව සිහිපත් කරනවා. උන්වහන්සෙගේ අවංක චේතනාවට වගේම අපරිමිත ධෛර්යයට මේ ලිපියෙන් අබමල් රේණුවකවත් හානියක් නොවේවායි යන්න මගේ ප්‍රාර්ථනයයි.
දැන් එන්නම් කතාවට. ජාත්‍යාන්තර "සාම පා ගමන" සඳහා ලංකාව තෝරාගත් පසුව රජය විසින් "අපි එයට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා"යි ප්‍රකාශයට පත් කරා. දේශපාලනය සඳහා ආගම යොදා නොගන්නවෑයි කියා කොතරම් කීවත් මෙරට බහුතර සිංහල බෞද්ධයන්ට පොඩි සැදැහැවත් කිතියක් ලබා දී ලකුණක් දෙකක් දා ගැනීමට ලැබෙන අවස්ථාවක් මග ඇරගන්න තරම් ආණ්ඩුවේ දේශපාලන බුද්ධිය නොමේරූ එකක් නෙවෙයි.
ඉතින් පඥ්ඥාකාර හිමියන්ගේ නිදහස් පාගමන උන් වහන්සේටත් නොදැනීම හයිජැක් (hijack) වෙන්නේ මෙන්න මේ "රාජ්‍ය අනුග්‍රහය" ත් එක්ක.
ආණ්ඩුව මුලින්ම මාධ්‍ය මගින් මීට ලොකු ප්‍රචාරයක් ලබාදෙනවා. ඒකෙන් රටේ නිකන් අමුතුම ආගමික උද්‍යෝගයක් ඇති වෙනවා. මිනිස්සු පෙරහැර බලන්න වගේ පාර දෙපැත්තේ පොදි කනවා. ආලෝකා සුනඛයාට සාදුකාර දීම මේකේ උච්චතම අවස්ථාව.
ඊළඟට ආන්ඩුව මෙම සාම පා ගමන යෑමට නියමිත ප්‍රදේශ වල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වලට උපදෙස් දෙනවා පාර දෙපස කෙසෙල් කොල එළන්න. ඉතින් ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල වල නිලධාරීන් , ග්‍රාමනිලධාරින් ඇතුළු සෙසු නිලධාරීන් ගම් වල ලොරි ගනන් කෙසෙල් කොල කප කපා පාරේ අතුරනවා.
මාධ්‍ය මගින් මෙය මගදෙපස සැදැහැවතුන් ස්වෙඡ්චාවෙන් කල දෙයක් ලෙස හුවා දැක් වුවත් ඇත්තටම මෙය "ඉහලින්" ලැබුණු උපදෙස් මත රාජ්‍ය නිලධාරීන් කල දෙයක්. ( ඇතැම් ස්ථාන වල යම් ස්වෙඡ්චා සංවිධාන හෝ සැදැහැවතුන් විසින්ම මෙම කටයුත්ත කර තිබීමට පුළුවන)
ඒ වගේම තමා "පාසැල් දරුවන්". ඉහළින් ලැබුණු උපදෙස් මත විදුහල්පති වරුන් දරුවන් සාම පා ගමන පිළිගැනීමට මහ දවාලේ පාර දෙපස පෙළ ගැස්සූවා. මා ජීවත් වන ප්‍රදේශයේ මුස්ලිම් පාසැල් වල දරුවන් පවා මේ වෙනුවෙන් පාරට බැස්සවීම කොයිතරම් සදාචාරාත්මකදැයි මේ ලිපිය කියවන ඔබම තීරණය කරන්න. යම් හෙයකින් ඉස්ලාම් පූජකවරුන්ගේ සාම පාගමනකට බෞද්ධ දරුවන් අතට මල් දී පාරේ හිටගැස්සුවානම් රටේ තත්ත්වය කෙබඳු වේද.
ඒ වගේම ඇතැම් රාජ්‍ය ආයතන වල නිලධාරීන්ට සුදු ඇඳුමෙන් සැරසී නටුව සහිත මල්ද රැගෙන එන ලෙසට දැනුම් දී තිබුනා.
ඒ වගේම තමා සාම පා ගමනේ ආරක්ෂාවට යැයි කියමින් පොලීසිය හා හමුදාව යොදාගත් ආකාරය. සාමය තේමාව වූ පාගමනක් වට කරගනිමින් හමුදා නිලඇඳුම් හැඳගත් ආයුධ සන්නද්ධ නිලධාරීන් යෙදවීම කොයිතරම් උචිතදැයි වත් සිතීමට පවා බලධාරීන් අපොහොසත්ව තිබුණා. (ආරක්ෂාව අවශ්‍යනම් එය ප්‍රදර්ශනකාමීත්වයෙන් තොරව සියුම් නොපෙනෙන ආකාරයෙන් දීමට වුව හැකියාව ඇත.)
ඒ වගේම අවසාන වශයෙන් එලා තිබූ ලක්ෂ ගානක කෙසෙල් කොල ආදියද ඇදීමට සිදුවූයේ අහිංසක නගර සභා සේවකයන්ට.
ඉතින් මේ කීවේ සාම පා ගමනට ආණ්ඩුව "රාජ්‍ය අනුග්‍රහය" ලබාදුන් ආකාරය. ඒ වගේම මේ ලිපියේ සඳහන් කිසිවක් එලෙස නොවේයැයි කීමට කිසිවෙකුට නොහැක්කේ මේ සියල්ල මාගේ සියැසින්ම දැක මා ලියන ලියවිල්ලක් නිසා.
කෙසේ නමුදු අවසානයේ සිද්ධ වුනේ
පඥ්ඥාකාර හිමියන්ට අවශ්‍යව තිබූ බෞද්ධ දර්ශනයට ගැලපෙන නිස්කලංක , නිශ්ශබ්ද ,සංයමයකින් යුතුව පාගමන වෙනුවට ඉතාමත් ඝෝෂාකාරි , කලබලකාරී , සෙනඟ පොදිකන පාගමනක් නිර්මාණය විම.
කොහොම වෙතත් ඇමරිකාවේදී පූජනීය වූ පාගමන ලංකාවේදී දැන් "ජෝක්" වෙන්න පටන් අරන් ඉවරයි.
මොකද රජය මේ පා ගමනට අනුග්‍රහය දක්වනවැයි කියමින් කලේ International වැඩකට local treatment එකක් ලබාදෙන එක. ලංකාවේ සාදුලා සද්දෙට , සෙනඟට , කැටයම් වලට කැමතියි. ඒත් බටහිර රටවල බුදු දහම කියන්නේ ඒක නෙවේ.
මොනා උනත් පඥ්ඥාකාර හිමියන්ට සාමයේ පණිවිඩය ලෝකෙට ගෙනියන්න හැකිවෙන්න කියලා වගේම ආයෙම ආයේමත් මෙවන් විගඩම්කාරීන් මුණනොගැසේවායි අපි ප්‍රාර්ථනා කරමු.