11/07/2026
මනෝවිද්‍යාඥයින් පිරිසක් , පිරිමි 20 දෙනෙක්ව තෝරගෙන, ඔවුන්ට අලුත උපන් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ ජීවිතය, දවස් 28ක් ගත කරන්න දුන්නා. මේකට තෝරාගත්තේ තමන්ගේ බිරිඳට දරුවා හදාගන්න උපරිමයෙන් උදව් කරනවා කියලා හිතාගෙන ඉන්න, ක්‍රියාශීලී පිරිමි 20 දෙනෙක්.
මෙතන කාටවත් කිසිම කෙටි පාරවල් තිබුණේ නැහැ. අලුත උපන් බිළිඳෙකුගේ කාලසටහනට අනුව තමයි මෙයාලා වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ, හරියටම හැම පැය 2-3කට සැරයක්ම ඇහැරෙන්න ඕනේ. කිරි දෙන්න (Simulated), ගුඩුස් යවන්න, නලවන්න, ආයේ නිදි කරවන්න ඕනේ.
ඊටපස්සේ ආයේ ඇහැරෙන්න ඕනේ. ඒ දේවල් කරන ගමන් දවසේ අනිත් සාමාන්‍ය වැඩත් කරන්න ඕනේ. කෑම උයන්න, ගේ අස් කරන්න, අනිත් ළමයි බලාගන්න වගේ කිසිදාක ඉවර වෙන්නේ නැති ලැයිස්තුවක් මෙයාලට පැවරුණා.
දවස් 11ක් යද්දි , තුන්දෙනෙක් මේක අතහැරලා දැම්මා. හේතුව විදිහට කිව්වේ අධික මහන්සිය සහ මානසිකව කඩාගෙන වැටීම. සති දෙකක් යද්දි, ගොඩක් පිරිමි අය " අනේ මේක නවත්තන්න කියලා" බැගෑපත් වුණා.
තමන් "මාරම සපෝට් එකක් දෙන, වැඩ කරන තාත්තා කෙනෙක්" (hands-on dad) කියලා හිතාගෙන හිටපු අවුරුදු 34ක පිරිමියෙක් අන්තිමට කිව්වේ මෙන්න මේ කතාව.
"මගේ ඇස් ඉස්සරහම මගේ බිරිඳගේ ආත්මය අතුරුදහන් වෙලා යනවා කියලා මට මීට කලින් තේරුණේ නෑ."
මේක අහපු ගමන් කණ්ණාඩියෙන් මේක බලන් හිටපු අම්මලා අඬන්න ගත්තා. ඒක නාට්‍යමය දෙයක් නිසා නෙවෙයි, තමන් ඇතුළේ විඳවන දේ පිරිමි කෙනෙක් හරියටම තේරුම් ගත්තු පළවෙනි වතාව ඒක වුණු නිසා.
සති දෙකක් යද්දි , පරීක්ෂණයට සහභාගී වුනු පිරිමි අය එකම දේවල් ටිකක් ගැන පැමිණිලි කරන්න ගත්තා.
තීරණ ගැනීමේ විඩාව - උදේ 9 වෙද්දිම තීරණ අරගෙනම මොළය වෙහෙසට පත්වීම.
අනන්‍යතාවය මැකී යාම - තමන් කියන කෙනා නැති වෙලා, වෙන කෙනෙක්ගේ අවශ්‍යතා වෙනුවෙන් විතරක් ජීවත් වෙන්න සිදුවීම.
සංවේදන වැඩිවීම - නිරන්තර ශබ්ද, ස්පර්ශ සහ ඉල්ලීම් නිසා ඇතිවෙන පීඩනය.
Loneliness (හුදෙකලාව) - කවදාවත් තනියම නෙවෙයි හිටියේ, හැබැයි වචනෙන් විස්තර කරන්න බැරි තරම් තනිකමක් දැනීම.
විද්‍යාත්මකව මේක පැහැදිලි කරොත්, අපේ මොළයේ තීරණ ගන්න, තර්කානුකූලව හිතන්න තියෙන ප්‍රධාන කොටස තමයි, පූර්ව ලලාට බාහිකය (Prefrontal Cortex).
මේ අලුත් අම්මලා වගේ , මේ පරීක්ෂණයට මුහුණ දුන්න පිරිමි , දිගින් දිගටම නින්ද අහිමි වෙද්දි සහ , හැමතිස්සෙම දරුවා ගැන 'Alert' එකේ ඉන්න වෙද්දි, මොළයේ Cortisol වගේ ස්ට්‍රෙස් හෝමෝන වැඩි වෙනවා. මේ නිසා පූර්ව ලලාට බාහිකයේ ක්‍රියාකාරීත්වය අඩාල වෙලා, මොළය යන්නේ 'Survival Mode' (ජීවත් වීමේ අරගලය) එකට.
ඒ වගේම මනුස්සයෙක්ට, තමන්ගේ නිදහස් සිතුවිලි වෙනුවෙන් මොළයට වෙලාවක් නැති වුණාම, තමන්ගේ 'මම' කියන අනන්‍යතාවය මොළයෙන්ම යටපත් කරලා දානවා. හුදෙකලාව දැනෙන්නේ තමන්ගේ ඇත්ත හැඟීම්, තමන්ගේ අනන්‍යතාවය තේරුම් ගන්න, තමන්ටවත් වෙලාවක් නැති නිසා මිසක්, වටේ සෙනඟ නැති නිසා නෙවෙයි. කවුරු වටේ හිටියත්, තමන්ව කාටවත් පේන්නේ නෑ කියන හැඟීමයි එතන තියෙන්නේ.
මේ තත්ත්වය හරියටම තේරුම් ගන්න මේ උදාහරණය බලන්න. හිතන්න ඔයාට හෙට ජීවිතේ වැදගත්ම රස්සාවක ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා. හැබැයි අද රෑ පුරාම හැම පැය දෙකකට සැරයක්ම කවුරුහරි ඇවිත් ඔයාව ඇහැරවලා, අමාරු ගණන් වගයක් හදන්න දෙනවා. ඒ අස්සේ ෆෝන් එක දිගටම රින්ග් වෙනවා, කාමරේ ලයිට් නිවන්නත් බෑ. ඔයාට වොෂ් රූම් එකට යන්නවත් නිදහසක් නෑ.
මේ විදිහට එක දවසක් නෙවෙයි, මාස ගාණක්, අවුරුදු ගාණක් කිසිම නිවාඩුවක් නැතුව කරන්න වුණොත් ඔයාට මොකද වෙන්නේ? තමන්ගේ නිදහස් සිතුවිලි, තමන්ගේ ආසාවන් ඔක්කොම යටපත් වෙලා, ඔයාට ඔයාවම නැති වෙනවා නේද? අන්න ඒක තමයි අලුත් අම්මා කෙනෙකුටත් වෙන්නේ.
අපි හිතාගෙන ඉන්න දේවල් (Assumptions) සහ ඇත්ත තත්ත්වය අතර තියෙන පරතරය, මේ පරීක්ෂණයෙන් ඉතාම කෘර විදිහට එළියට දානවා. පිටින් ඉඳන් බලලා "මම නම් ගෙදර වැඩවලට උදව් කරනවා, මම හොඳ තාත්තා කෙනෙක්" කියලා තමන්ටම සහතිකයක් දාගන්න එක ලේසියි.
හැබැයි ඒ වගකීම 100% ක් කරට අරගෙන, ඒකේ 'Mental Load' (මානසික බර) එක දරාගන්න එක ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. යම් දෙයක් ඇතුළට ගිහින් ඒක ඇත්තටම අත්දකින්නේ නැතුව, ඒ ගැන පිටින් ඉඳන් අපි දරන හැම මතයක්ම හිස්.
පර්යේෂණය ඉවර කරපු හැම පිරිමියෙක්ම කිව්වේ එකම දෙයයි.
"අපි හිතාගෙන හිටියේ අපි මේක ගැන දන්නවා කියලා, ඒත් අපි ඇත්තටම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ".
ඔයා විනාඩි 10කට ළමයාව වඩාගෙන ඉඳලා, බිරිඳට "ඔන්න මම බලාගත්තා, දැන් ඔයාගේ වැඩක් කරගන්න" කියලා කියන එක නෙවෙයි මාතෘත්වය කියන්නේ. උදව් කරනවා කියන්නේ වගකීමෙන් නිදහස් වීමක්. හැබැයි අම්මා කෙනෙක්ට කවදාවත් ඒ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ
සමාජයක් විදියට අපි අම්මලාගෙන් බලාපොරොත්තු වෙන්නේ සුපිරි වීරවරියන් වෙන්නයි. "අපේ අම්මලත් අපිව හැදුවේ, ඉතින් ඕක මොකක්ද?" කියන මෝඩ තර්කයෙන් අපි මේ වෙහෙසකර යථාර්ථය වහලා දානවා.
අම්මෙකුට ඕනේ ඔයාගේ අනුකම්පාව නෙවෙයි, ඔයාගේ සානුකම්පිත අවබෝධය (Empathy) සහ ප්‍රායෝගික මැදිහත්වීමයි. ඇයගේ "අනන්‍යතාවය දියවෙලා යන්න" නොදී, ඇයට ආයෙමත් ඇය වෙන්න පොඩි හරි ඉඩක් හදලා දෙන එකයි.
මේක කියවන/අහන ඔයා තාත්තා කෙනෙක් නම්, අදම ගිහින් ඔයාගේ බිරිඳ දිහා ආයේ පාරක් හොඳට බලන්න. ඇය ඔයාගේ ඇස් ඉස්සරහාම අතුරුදහන් වෙලා යනවද කියලා හොයලා බලන්න