Nipuns cafe

Nipuns cafe Your view through my eyes

එක රැයෙන් තරුවක් වූ මූදු මංකොල්ලකාරයා-------------------------------------------------------------------හොරකම් කරන්න කරන...
30/09/2022

එක රැයෙන් තරුවක් වූ මූදු මංකොල්ලකාරයා
-------------------------------------------------------------------
හොරකම් කරන්න කරන්න වීරයො වෙන උන්නැහේලා ඉන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා. මෙයා වීරයෙකුටත් වඩා දැන් ලොව පුරා සමාජ මාධ්‍යවල සුපිරි තරුවක් වෙලා ඉවරයි. දහස් ගාණක් followersලා ඉන්නවා.

මේකා නිකම් හොරෙක් නෙවෙයි. මූදු කොල්ලකාරයෙක්. උන්දැගෙ නම කයිලෝ වුණාට මිනිස්සු දැන් කියන්නෙ Pirate කියල.

හැබැයි කයිලෝ කියන්නෙ පූසෙක්. කොටින්ම කිව්වොත් හොර පුසෙක්.

"අනේ අපේ අප්පුහාමි.අනිත් බළල් නාම්බො වගේ නෑම්බියො බලන්න යන්නෙ නෑ. උපාසකයා. රන් පුතා. ගෙයින් එළියට අඩියක් තියන්නෙ නෑ"

කයිලෝගෙ ගෙදර අය හිතන් ඉන්නේ එහෙමයි. දවල් වරුවේ නැට්ට කටේ ඔබන් නිදාගන්න උපාසකයා ඉර බැහැගෙන ගියාට පස්සෙ හොරෙක් බවට පරිවර්තනය වෙනවා. හැම රැයකම මේකා නිධන් වස්තු හොය හොයා ඇවිදිනවා.

ළමයින්ගෙ මේස්, පාසල් නිල ඇඳුම් විතරක් නෙවෙයි, බ්ලැන්කට් හා සෙල්ලම් බඩුත් අසල්වැසි ගෙවල්වලින් අතුරුදහන් වෙලා තිබුණා.

හැබැයි කයිලෝ තමන්ගෙ හොර බඩු ගබඩාව හදා ගෙන තිබුණේ තමන්ගේ ගෙදර නොවෙයි. අල්ලපු ගෙදර. ඒ ගෙදර වටේටම වැටක් තියෙනවා. ඒත් මේ මූදු කොල්ලකාරයාට ඒවා බාධක නොවෙයි.

කයිලෝ වැඩියෙන්ම උස්සලා තිබුණේ බලු රාළලාගෙ සෙල්ලම් බඩු. උන්ට අහු වුණානම් කයිලෝව කෝටු මස් කරනවා. ඒත් මිනිස්සුන්ට තියා බල්ලෙකුටවත් ඉව නො වැටෙන්න වැඩේ කරන් යන්න කයිලෝ දක්ෂ වෙලා තිබුණා.

"එක දවසක් උදේ අපට ලොකූ ටෙඩි බෙයාර් එකක් ලැබිල තිබුණා. තවත් දවසක් බලද්දී ෆුට් බෝලයක්..."

කයිලෝගෙ හොර බඩු ගබඩාව තිබුණු ගෙදර අයිතිකාර මැකෝල් නෝනා මාධ්‍යයට කියා තිබුණා.

"අපි හිතුවේ අල්ලපු ගෙදර ළමයි ඒවා වීසි කරන්න ඇති කියල. ඒ ගැන වැඩියත්ම හිතුවෙ නෑ. ඒත් සෙල්ලම් බඩු දිගටම ආවා"

හැබැයි. මේ හොරා අනිත් හොරු වගේ නෙවෙයි. තමන්ගෙ සොරකම් කරපු වස්තුව හංගන් ඉන්න උන්දැට ඕන කමක් තිබිල නැහැ. සාප්පුවක වගේ ඒවා මේස පුටු උඩ ප්‍රදර්ශනයට දමා තිබුණා. මාසයක් වගේ ඇතුළත මුළු මේසයක්ම පිරී ගියා.

කවුද මේ අවාරේ ආපු නත්තල් පප්පා කියල හොයා ගන්න මැකෝලි නෝනයි එයාගෙ මහත්තයයි CCTV චෙක් කළා. වැඩේ එළි වුණා. දවසක් මූදු මංකොල්ලකාරයා ස්පොන්ජියක් අරන් පඩි පෙළ නගින කොට අතටම අල්ල ගන්න මැකෝල් ජෝඩුවට පුළුවන් වුණා.

ඒත් ඉතින් හොරා නෙවෙයි වැඩේ නතර කළේ. ඊළඟ දවසෙත් තඩි රබර් තාරාවෙක් මේසෙට වඩම්මලා තිබුණා.

පස්සෙ මැකෝල් නෝනා කළේ මොකද්ද දන්නවද? එයා කයිලෝගෙ හොර බඩු එකින් එක ෆොටෝ ගහලා නගර සභාවෙ Facebook පිටුවට දැම්මා. ඒවායේ අයිතිකාරයො ඉන්නවානම් තමාව දැනුවත් කරන්න කියල මොබයිල් අංකයත් පළකලා.

නමුත් මිනිස්සුන්ට නැති වෙච්චි බඩු ගැන ඒ තරම් හාංකවිසියක්වත් උනන්දුවක් තිබුණෙ නැහැ. හැමෝටම උවමනා වුණේ මූදු කොල්ලකාරයාගෙ ඊළඟ හොර කම මොකද්ද කියල දැන ගන්න.

එක රැයකින් මේ හොර අප්පුහාමි තරුවක් බවට පත්වුණා. මැකෝල් නෝනටත් සිද්ධ වුණේ මාර අකරතැබ්බයක්. මූදු කොල්ලකාරයාගේ දවසේ හොර බඩු ලයිස්තුව හැමදාම උදේට Update කරන්න එයාට සිදුවුණා. හොර බඩු නැති දවසට කයිලෝගෙ රසික සමාජය කම්පා වුණා.

"අනේ අපේ හොර ගෙඩියාට අසනීපයක්දැ"යි මූදු කොල්ලකාරයාගේ fan club එක එහෙම දවසට විස්සෝප වුණා.

පස්සෙ මිනිස්සු කයිලෝගෙ ගෙදරත් හොයන් ආවා. ඒ වෙනකම් එයාගෙ අයිතිකාරයො දැනගෙන හිටියෙ නෑ තමන්ගෙ ගෙදර මූදු මංකොල්ලකාරයෙක් ඉන්න බව.

ගෙදර අය කයිලෝට හොරකමේ යන්න බැරි වෙන්න බැරියර් දැම්මා. ඒත් ඊ ළඟ දවසේ උන්දෑ ආයෙත් සුපුරුදු හොර බඩු ජාවාරම පටන් ගත්තා.

මේ හොර බළලාව තවදුරටත් ගෙදර තියා ගත්තොත් තමන්ට රෙද්දක් ඇඳන් පාරෙ බැහැල යන්න බැරි බව තේරුම් ගත්ත කයිලෝගෙ අයිතිකාරයො උන්දැව කාට හරි හදාගන්න දෙන්න තීරණය කළා.

හොරෙක්ව ගෙදරටවත් වද්දගන්නෙ නැති කාලයක කයිලෝව භාරගන්න පෝලිමක්ම ආවා. අන්තිමට මොයිල් කියල නෝනා කෙනෙක් මූදු මංකොල්ලකාරයගෙ නව භාරකාරත්වය ලබා ගත්තා. මොයිල් කියන්නේ ඇත්තටම කයිලෝගෙ පට්ට fan කෙනෙක්.

අළුත් ගෙදරට ගිය කයිලෝ මාසයක් විතර නැට්ට කරකව කරකව සෙටියක් උඩට වෙලා හිටියා. ඊ ළඟ මාසයේ දවසක උදේක කැප්ටන් හැඩොක්ව ඇදගෙන තරප්පු පෙළ නඟින කයිලෝව මොයිල් නෝනාට අහු වුණා.

"වෙන පූසො ගේන්නේ භාගෙට හපාපු මීයො. නැත්නම් කැරපොත්තො. ඒත් අපේ එක්කෙනාට ඉතින් පඩි පෙළ දිගේ ඇදන් එන්න පුළුවන් ඕනම දෙයක් අදාලයි..."

කයිලෝගෙ අළුත් අයිතිකාරිය කියන්නෙ එහෙමයි.

"දැන් එයා හොර බඩු ජාවාරමට සම්මානත් බලාපොරොත්තු වෙනවා. අපට තෑගි ගෙනත් අපි ඇහැරෙනම් පුරු පුරු ගගා බලන් ඉන්නවා Credit ගන්න."

කයිලෝ වටේ පිටේ හොර කමේ යන එක නවත්වන්න මොයිල් නෝනා අපූරු වැඩක් කළා. එයාට උස්සන්න ආස හිතෙන බඩු කෑළි කූඩයක්ම ගෙනත් ගේ ඇතුළෙ තැන් තැන්වල තිබ්බා. ඒ අතරින් නිතරම හොරා පොලිස් සෙල්ලමට මාට්ටු වෙන්නෙ එල්ෆ්. හැමදාම උදේට ආපහු රාක්කයෙන් ගිහින් තිබ්බත් එල්ෆ්ව උස්සන එක උන්දෑ නතර කරන්නෙ නෑ. කයිලෝගෙ ප්‍රියතම හොර බඩුව තමා එල්ෆ්.

මොයිල් නෝනාගෙ උපක්‍රමය නිසා අසල් වැසියන්ගෙ බඩු missing වෙන එක දැන් ටිකක් පාලනය වෙලා. හැබැයි ඉතින් සම්පූර්ණයෙන් නතර වෙලා නම් නැහැ.

"කයිලෝ හිතන් ඉන්නේ එයා සුපිරි තරුවක් කියලා. ඒ වගේම මං කවදාවත් හිතුවෙ නෑ හොර පූසෙක්ගෙ ලේකම් වෙන්න....!! "

මොයිල් නෝනා දැන් මාධ්‍යයට කියන්නෙ එහෙමයි.
උපුටා ගැනීමකි

Shanaka Liyanagama
A Current Affair ඇසුරිනි.

Address

Bandaragama

Telephone

+94705980187

Website

Alerts

Be the first to know and let us send you an email when Nipuns cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share