15/09/2026
පුලියන්කුලම පබ්බතවිහාරය - 1
මෙකී පුරාවිද්‍යා භූමිය අනුරාධපුරයේ සිට කිලෝමීටරයක් පමණ උතුරට වන්නට යාපනය මාර්ගයට මායිම්ව පිහිටා තිබේ. අනුරාධපුර යාපනය මහාමාර්ගයේ "MacBride's Deviation" ලෙසින් හඳුන්වන ස්ථානයෙන් ආරම්භ වන මාවත නිසා මෙකී භූමිය දෙකට බෙදී යයි.
පුලියන්කුලම පබ්බතවිහාරය පිළිබඳව මුලින්ම වාර්තා කෙරෙන්නේ 1896 රාජකීය ආසියාතික සමිතියේ වාර්තාවෙනි. සුදු ජාතිකයන්ගෙන් සමන්විත වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ඊට පෙර හඳුනාගෙන කැණීම් හරහා මෙම ස්ථානය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ස්ථාපනය කර තිබේ. එකී වාර්තාවට අනුව මෙහි කැණීම් ආරම්භ වන්නේ 1891 දී ය. ඊට ආසන්නයෙන් පිහිටා ඇති විජයාරාමයටත් වඩා විශාල භූමියක පැතිරුණු පුරාවිද්‍යා අවකාශයක් මෙහි තිබෙන බව පෙන්වා දෙන එකී වාර්තාව, එහි ගොඩනැගිලි 4 න් 3ක් හඳුනාගත් බව සඳහන් කරයි. කෙසේ වෙතත් ඊට පෙර මංමාවත් තැනීමේ දී මෙම ස්ථානය හඳුනාගෙන නොතිබීම හේතුවෙන් ඒ හරහා උප මාර්ගයක් වැටීම කණගාටුදායක ය. එමෙන්ම මහාවිහාර භූමියේ බොහෝ පුරාවිද්‍යා ස්මාරක වලට සිදුවුනාක් මෙන් මෙම ස්ථානයේ ද ගොඩනැගිලි කොටස් විශාල වශයෙන් මාර්ග ඉදිකිරීම් කටයුතු සඳහා ගලවාගෙන ගොස් තිබීම හේතුවෙන් ගොඩනැගිලි රැසක් විනාශව ගොස් තිබේ.
මහායාන ඉගැන්වීම් බුදුදහමට එක්වීම තුලින් බිහිවූ පබ්බතාරාම සැකැස්ම ක්‍රි.ව. 4 වන සියවසේ සිට අනුරධපුර යුගයේ අවසාන භාගය දක්වා වර්ධනය විය. අනුරාධපුරයේ අභ්‍යන්තර මහා ස්තූප වලල්ලට පිටතින් ස්ථානගත වූ මෙකී සංකල්පයේ වඩාත් සංවර්ධිත අවස්ථාවක් ලෙස පුලියන්කුලම පබ්බතාරාමය පෙන්වා දිය හැකිය. අවකාශීය සැකැස්ම අතින් තොලුවිල පබ්බතාරාමයට සමාන වන මෙහි පුරාවිද්‍යා අවකාශය හරහා වැටී ඇති උප මාර්ගය හේතුවෙන් එය කොටස් දෙකකට බෙදී පවතී. පබ්බතාරාමයේ උතුරු දොරටුවේ සිට උතුරු දිශාවට වැටී ඇති පෙත්මඟ කෙලවර වන්නේ තොලුවිල දී මෙන් ප්රතිමාගෘහයකිනි. මෙකී පෙත්මඟේ කිසිදු සලකුණක් අද දක්නට නොලැබේ.
අසලින් වැටී ඇති උප මාර්ගයේ ඉදිරියට යන විට දකුණු පසින් පබ්බතාරාමයේ පූජනීය අවකාශය වටා ඉදිකරන ලද සෙල්මුවා ප්‍රාකාරය මාර්ගයට දිස්වේ. එය මුළුමනින්ම බොරදම් සහිත විශාල ගල් පතුරු යොදා ගෙන නිමවා ඇති අතර භූමියේ සිට එකී ප්රාකාරයෙන් වටවූ උස් අවකාශයට ගොඩවීම සඳහා සිව් දිශාවෙන්ම පියගැටපෙලවල් ඉදිකර තිබේ. පූජනීය අවකාශයේ ගොඩනැගිලි 4 ක් දැකගත හැකිය. ස්තූපය, ප්රතිමාගෘහය, බෝධිඝරය සහ සභා ශාලාව හඳුනාගත හැකිය. උපෝසථඝරයක් මෙහි දක්නට නොලැබේ. මෙකී විහාරයේ ඉහතින් සඳහන් කරන ලද අනෙක් ප්රතිමගෘහය ආසන්නයේ තිබී හමුවූ සෙල්ලිපියේ මෙය අභයගිරියේ කපාරමූලයට අයත් බව සඳහන් වීමෙන් ඇතැම් විට මෙහි වාසය කරන ලද භික්ෂූන්වහන්සේලා පොහොයකර්ම සඳහා අභයගිරිය වෙත යන්නට ඇති බවත් ඒ නිසාවෙන් මෙහි උපෝසථඝරයක් ඉදි නොකළ බවත් උපකල්පනය කළ හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ
Archaeological Survey of Ceylon, Annual Report 1896 – Plans and Plates, H.C.P. Bell
බුද්ධ ප්‍රතිමාගෘහයේ අවකාශීය සංවිධානය - මහාචාර්ය ධනංජය ගමලත්