28/01/2024
මඩවල සෙල්ලිපිය
මඩවල සෙල්ලිපිය පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ පාත දුම්බර කොට්ටාසයේ මඩවල ග්‍රාමයේ ය. පාෂාණ උද්ගතයක මතුපිට විශාල මධ්‍යකාලීන සිංහල අක්ෂරයෙන් කොටා ඇති මෙය තුන් පැත්තකින් කොටුවකින් ආවරණය වී තිබේ. මෙම කොටුවෙන් පිටත ඉහලින් ඉර, හඳ, මිටිය සහ කිණිහිරය සලකුණු කර තිබේ. වම් පත්තෙන් ඉහල සිට පහලට මිටිය, කිණිහිරය, කතුර, කපුටා සහ බල්ලා යන සලකුණු දක්නට ලැබේ.
මෙය ඉඩම් ප්‍රදානයක් දක්වෙන ලියවිල්ලකි. රිදී වැඩකරුවෙකු වූ සිද්ධවුල්ල පරමනයා සහ ඔහුගේ පුත්‍ර සූරියා හට සිරි සඟබෝ පරාක්‍රමබාහු (පරාක්‍රමබාහු VI) විසින් එතුමාගේ 47 වන රාජ්‍ය වර්ෂය තුලදී එකී ප්‍රදානය සිදු කළ බවත්, දන්තොට වතුරේ දිවන් සහ දිවානවත්තේ ලංකා අධිකාරීන් යන ප්‍රභූවරයන් දෙදෙනා ඉදිරියේ එකී ප්‍රදානය සිදු කළ බවත් මෙම සෙල්ලිපියේ සඳහන් වෙයි. යටකී ප්‍රභූවරුන් දෙදෙනාගේ අත්සන් අදාල ලිපියේ වම් ඉහල කෙළවරේ කොටා තිබේ. ඒ ඈපාණ සහ ජෝති සිටාණ යනුවෙනි. රාජාවලියේ සඳහන් වන පරිදි පරාක්‍රමබාහු රජුට එරෙහිව කැරලි ගසන්නේ මෙකී ජෝතිය සිටාණන් ය.
රජාවලියේ දැවෙන්නේ පරාක්‍රමබාහු රජුගේ 52 වන රාජ්‍ය වර්ෂයේ දී කඳුරට පාලනය කළ ජෝතිය සිටු කම්කරුවන් සැපයීම, වාර්ෂික කප්පම පිරිනමීම සහ කරලි ගැසීම යනාදිය සිදු කළ බවයි. මෙය ඇසූ රජු විශාල හමුදාවක් සූදානම් කර තම මුණුපුරු තරුණ අම්බුළුගල කුමරා හට පවරා කන්ද උඩරට අල්ලාගනීමට පිටත් කළ බවත් එහි සඳහන් වේ.
ඒ අනුව අම්බුළුගල කුමරා උඩරට අල්ලාගන්නා අතර ජෝතිය සිටාණන්ගේ ඥාතීන් කිහිප දෙනෙකුද අල්ලාගෙන කෝට්ටේ රජවාසල වෙත පිටත් කර හරින ලදී. සූර්ය වංශයෙන් පැවත එන සහ ගම්පල රජ පරපුරට අයත් කුමරාට උඩරට රාජ්‍යය භාර දුන් බවද එහි සඳහන් වේ.
සෙල්ලිපියේ දැක්වෙන පරිදි උඩරට පාලකයා වන්නේ ලංකා අධිකාරීන් හෙවත් දිවානවත්තේ ජෝතිය සිටාණන් ය. දිවානවත්ත යනු වත්මන් හාරිස්පත්තුවට අයත් ග්‍රාමයකි. ජෝතියගේ පරාජයෙන් පසු පාලකයා බවට පත් කරනුයේ මෙකී සෙල්ලිපියේ අනෙක් අත්සන්කරුවා වන දන්තොට-වතුරේ දිවන් හෙවත් ගම්පල කුමාරයා ය. ඒ අනුව සෙල්ලිපිය කෙටූ සමයේ උඩරට පාලනය, කෝට්ටේ රජ වාසලට යටත්ව, ජෝතිය සිටුවරයා විසින් සිදුකරන ලදැයි සිතාගත හැකිය. රාජ වංශිකයෙකු වුවත් ගම්පල කුමරාගේ පැවැත්ම නාමමාත්‍රිකව වන්නට ඇත. දන්තොට-වතුර හෙවත් වත්මන් යටිනුවර, දන්තුරේ විසූ ගම්පල කුමාරයා හට උඩරට හිමිවන්නේ ඊට වසර 10 කට පසුව බව ද ඉන් සනාථ වේ.
පරාක්‍රමබාහු VI රාජ්‍යත්වය ලබන්නේ ක්‍රි.ව. 1412 දී ය. ඒ අනුව මෙහි දැක්වෙන ප්‍රදානය සිදුවන්නේ ක්‍රි.ව. 1459 වෙසක් මාසයේ ය.
මෙකී ස්ථානයට ලඟාවීම සඳහා මහනුවර සිට කටුගස්තොට දක්වා පැමිණ දිගන මාර්ගය ඔස්සේ මඩවල කරා පැමිණිය යුතුය. මාර්ගයේ වම්පසින් සෙල්ලිපිය දක්වෙන නාමපුවරුව දැකගත හැකිය. එතැන් සිට කොන්ක්‍රීට් මාර්ගයක් ඔස්සේ කිලෝමීටරයක් පමණ ගොස් මෙම සෙල්ලිපිය වෙත ලඟා විය හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ
ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය
EPIGRAPHIA ZEYLANICA, VOLUME III
Google location in the map
https://www.google.com/maps/place/Madawala+Inscriptions/@7.3295629,80.6665222,17z/data=!3m1!4b1!4m6!3m5!1s0x3ae3679b28cc9d0f:0xd36e7ccbdd37eba6!8m2!3d7.3295576!4d80.6690971!16s%2Fg%2F11gcxvrhg2?hl=en-GB&entry=ttu