Trails

Trails සොබාදහමේ මංපෙත් ඔස්සේ ඇවිද යන්නෝ

_මහතලාවෙන් බටදඩුකන්දට_සොබාදහමේ මංපෙත් ඔස්සේ ඇවිද යන්නට මෙදා පාර ලෑස්තිය මහතාලාවේ, බටදටුකන්දට ගොඩවෙන්න කියලා. එහෙම කිව්වා...
25/07/2019

_මහතලාවෙන් බටදඩුකන්දට_
සොබාදහමේ මංපෙත් ඔස්සේ ඇවිද යන්නට මෙදා පාර ලෑස්තිය මහතාලාවේ, බටදටුකන්දට ගොඩවෙන්න කියලා. එහෙම කිව්වාම බලනවා ඇතිනේ ඒ මොන දීපංකරයක්ද කියලා. කවුරුත් දන්නවානේ මාතලේ ගැන. ඉතින් මාතලේ කියන නම හැදිලා තියෙන්නේ ප්‍රවාදගතවයි. ඒ තමා මනරම් කදුවැටියකින් වටවී තියෙන මහ තැනි තලාව කියන අදහසින්. ඒ කියන්නේ මනරම් කදුවැටියකින් වටවී තියෙන මහතලාව නැත්නම් මහතලය එහෙමත් නැත්නම් මාතලය තමා අද මාතලේ කියලා වහරට එකතුවෙලා තියෙන්නේ.
මාතලේ ගැන කිව්වාට බටදඩුකන්ද ගැන දන්නේ නෑ කියන්නකෝ දැන්. ඒකත් කියලාම ඉන්නම්. බටදඩුකන්ද කියන්නේ අපි කවුරුත් දන්න රිවර්ස්ටන්වලට. රිවර්ස්ටන් කියන්නේ දුම්බර කදුවැටියට අයත් කන්දක්නේ. සමහරු දුම්බරට නකල්ස් කියලත් කියනවා. ඔය නකල්ස්, රිවර්ස්ටන් කියන නම් මෑත අතීතයට තමයි අයිති. ඒ නිසා අපිනම් කැමති අපේ හිතට දැනෙන ලංකාවේ ප්‍රවාදයේ එන නමට. ඒ නිසා අපි ගියේ දුම්බර කදුවැටියේ තියෙන‍ෙ බටදඩුකන්දට. මේ කදුවැටිය බටදඩුවලින් සුලබව පැවතීමලු මෙහෙම බටදඩුකන්ද කියලා කියන්න හේතුව. අහ්හ්....කියන්න අමතකවුණා දුම්බර කදුවැටිය කියන්නේ ලංකාවේ හදවත වගේ තැනක් වගේම ජල පෝශකයක්. හැම වෙලේම දුමින් නැත්නම් මීදුමෙන් බර, දුමින්බර කදුවැටිය පස්සේ කාලේදි දුම්බර කදුවැටිය උනාලු.
ඔය ඉතින් අපේ ගමනාන්තයේ සරල කතාබහා. කතාබහා කිව්වාට මේ කතාව කතාකරගෙනනම් ගොඩක් කල්. ටක්කේටම දින නියම කරගත්තේ මේ ඊයේ පෙරේදා. කොහොමෙන් කොහොමහරි සියලු කාරණා හරියාකාරව සිද්ධ වෙද්දී කැළණි තොටටත් ඉර දෙයියෝ වඩින්න ඔන්න මෙන්න වගේ. හරියටම 5.30ට කැම්පස් එකට සෙට්වෙමු කියලා කට්ටිය කතා කරගත්තේ අඩුම 6ටවත් පිටත් වෙමු කියලා. කැම්පස් එක ගාවින් ගමනට එකතු වුණේ රසිත, චින්තානී, සුදම්, දිලිනි සහ හෂිනි, චතුර සර් එක්ක චානක. නිසාදී නැග්ගේ කඩවතින්. දන්නවානේ ඉතින් හැමදාමත් අපේ ගමන් සගයා චානානේ. දැන්නම් Travel With Chana කියලා නම් ගම් වෙනස් කරලාලු රථගායටත් Travel ගායටත් තියෙන ඉත්තෑවා නිසාම. ඔය එකී මෙකී නොකී නම් කියපු සියලු දෙනාට සුවිශේෂි විදියේ ආවේනික පිස්සු ගති ඇති අයනේ. පිටට පේන විදියට හිටියාට ඇත්ත තත්වේ දැනගත්තේ බටදන්ඩේ මී දුමම වැදිලා. ඒ ගැන පස්සේ කියන්නම්කෝ.
කොහොමෙන් කොහොමහරි ගමන පිටත්වෙද්දීම අපේ සුදම් මලයා තක්බීරිවෙලා තියෙන්නේ දිලිනිගේ අනික් පලුව දැකලා. මොකද දිලිනි හෂිනියි ටුවින්ස්ලාලු. ඉතින් කවුරුත් කලින් නොදැක්ක නොදැකපු නිසා සුදම් මලයාට වෙලා තියෙන්නේ ගමන පටන්ගද්දීම අකරතැබ්බියක්. මොකද දන්නවාද ඉස්සේල්ලාම සුදම්ට සුබ උදෑසනක් කියාගෙන දිලිනි ඇවිත් ගියාලු. ඒත් එක්කම ආයේ ටික වේලාවකදී ඒ දිලිනිම ඒ පැත්තෙන්ම ඇවිත්. වෙන දෙයක් හිතාගන්න බැරුව දගලද්දී තමා හරියාකාර විස්තරේ පස්සේ දැනගෙන තියෙන්නේ. ඔය ඉතින් ගමන පටන් ගන්න කලියෙන් වෙච්ච එකම එක දේ. බලද්දී ඒ හෂිනිලු. ඊට වඩානම් දෙයක් සිද්ධ වෙලා නෑ මොකද හැමෝම වැටුණ වැටුණ තැන්වලට නින්දට යටවුණා කියලාලු ආරංචි. එක්කෙන්නෙක්නම් දන්නේ කඩවතින් වෑන් එකට නැග්ගා කියලා විතරලු.
දැන් ඉතින් සියලු කාරණා හරියාකාර වෙද්දී ඉර දෙයියොත් එක්කම කට්ටිය නිට්ටඹුව වරකාපොල කෑගල්ල මාවනැල්ල පේරාදෙණිය හරහා මහකන්දට ආවේ ගයියාස් ප්ලේස්වලට. ඔය කාණ්ඩේ එනකන් මම ඉතින් ගෙදර තමා හිටියේ. උදේ සප්පායත් හරිහරියට පිළිවෙලක් වෙද්දී හෂිනිගේ කටහඩ කොයිවගේද කියලා හැමෝම අහගත්තේ අපේ ගෙදරදී. ඒ ගැන ඉතින් නොකියාම ඉන්නම්කෝ.
උදේ කෑමත් පිලිවෙලක් කරගත්ත අපේ ගමන හරියටම පටන්ගන්නේ දැන්. අම්මාටත් තාත්තාටත් තාවකාලිකව සමුදුන්න අපේ නඩේ යන ගමනටත් ඩොංගාව මතක්කලේ උපේක්ෂාගේ පාන්ගෙඩියත් නිසාදීගේ ලූපන්ජියටත් ආදේශ කරමින්. මේ කතා ජිල්පිට් ද ඩොංගා දන්නාවානම් ආයේ කවදාවත් මූන තියා පස්සවත් බලන්නේ නෑ.
ඕන්න දැන් තමා ගමන හරියට පටන් ගත්තේ. දැන්නම් ඉතින් එහෙන් මෙහෙන් අප්පුඩියක් සිංදුවක් ඇහෙන ගමන්. වැඩි වේලාවක් ගන්නේ නැතුව අපි මහතලාවට යං. මාතලේදී අපේ රෝචා හම්බෙලා රෑ කෑමට අවශ්‍ය අඩුම කුඩුම ටිකක් ගන්නත් තියෙනවා. වැඩ රාජකාරී අස්සේ උනත් රෝචාත් එක්ක ගිහින් ඒ ටික පිලිවෙලක් කරගද්දී ඉරදෙයියෝ ඉස්මුදුනටම ගොඩවෙලා හෙවනැල්ල පයට පෑගෙන ගානට ඇවිත්. ඒ නිසාම රෝචාටත් ස්තූතිය ඉස්මත්තේ තියාගෙන සමුදෙමින් අපි රත්තොට හරහා ආවේ බඹරකිරියට.
ඉස්සෙස්සෙල්ලාම අපි ගියේ බඹරකිරි ඇල්ලට. වතුර නම් ටිකක් අඩුයි තමා එහෙම කියලා ඉතින් බඹරකිරියේ ලස්සනේ අඩුවක්නම් නෑ.. පහුගිය කාලේ රටේ තිබ්බ කලබලත් එක්ක මේ සති අන්තේ තමා කට්ටිය සංචාරයන් පටන්ගෙන තියෙන්නේ. ඒ හින්දාම අද දවස ටිකක් විතර කලබලයි. කලබලයක් නැති නිසාම පිටවල පතනට එද්දී හවස 3ට විතර ඇති. පොඩියට වැහි පොද ගතියක් තිබ්බත් වළාකුළුවලට යටවුණු ඉරදෙයියන්ගේ කිරණත් එක්ක හැප්පෙන වැහි බිංදු ඇසටත් හිතටත් සනීපයක්. වලාකුළු අස්සෙන් වෑස්සෙන රැස් ඈත කදු මත්තෙහි පතිත වීම ඇසද හිතද ඊටම අලවාගන්නට සමත්.
දවල් සප්පායමත් පතනට කිට්ටුවේදී අහවරයක් වෙද්දී කට්ටයම ගොඩවුණේ පතනේ පුංචි ලෝකන්තයට. දන්නවානේ ඉතින් එතන විස්තරය දවසම උනත් එක එල්ලේ දැහැන්ගත වෙන්න පුලුවන් අවකාශයක් තමා පිටවල පතනේ පුංචි ලෝකාන්තය කියන්නේ. මතක් කරන්නම ඕනේ පතනේ මේ වෙනකොටනම් යම් පිලිවෙලක් වෙලා. ඒ දුම්බර මිතුරෝ සංවිධානයේ මැදිහත්වීමෙන්. කවුරුත් දන්නවානේ පිටවල පතන කියන්නේ කදුකර ගල්පර මැඩියාගේ වාසස්ථානය කියලා. ඒ නිසා මේ තියන හැම අඩියක්ම පරෙස්සමින්. ඒ ගැනත් හිතේම තියාගෙන අපි පුංචි ලෝකන්තයට එද්දී අපිව පිළිගත්තේ සුන්දරතම් හැන්දෑවකින්. අවරිගිරින් ගෙට ගොඩවෙන ඉරදෙයියන් පිළිගැනීමට අහස් කුටුම්භය හරි ලස්සනට හැඩවෙලා. නිල් අහස පුරාවට තැනින් තැන අලවාගත් වළාකුළු කැටි අපි කුඩාකල ඇදි චිත්‍රයක් වගේ. අපි හැමෝගෙම හිත් ඇස් අස්සෙන් හිතටම අවනතවූ මේ සිතුවමට යටත්වෙලා. ඒ ගැන නොදැනීම ගතවු කාලාවකාශය අනිච්ඡානුගවම ගෙවිලා ගියේ රැයටත් ආරාධනා කරමින්.
අපේ නවාතැන චන්දික අයියාගේ Knuckles Forest Lodge. කවුරුත් නොදන්න තැනක් නෙවෙයිනේ එතැන. ඒ නිසා හුරුපුරුදු හිතෙන් අපි ගොඩවෙද්දී අපිව පිළිගත්තේ ජයම්පති අයියා. අපේම හිතවතෙක් තමා. ආපු ගමනටම සරතැසට තිත තියන්න උණු උණුවේ ප්ලේන්ටියක් බීලම අපි ගියේ තෙලිගමුවට. අපි කියන්නේ පිරිමි උදවිය ටික විතරයි ඉතින්. ඈතින් මෝදු වෙන හදත් එක්කම තෙලිගමු කොමලිය හරි නිස්කලංකයේ ගලා බසින් හැඩයි. ඒ නිශ්චල බව භාවනාවක් වගේ. ඇගට සනීපෙට දැනෙන් සීතලත් පෙරවගෙනම අපි ඇග පත තෙමා ගත්තේ කිටි කිටියේ. දැන්නම් හැම දේම හරියාකාරයි. ඒ නිසාම නවාතැනට ආපු අපි ඉස්සේල්ලාම කලේ ගිණිමැලයක් ගහගත්ත එක. අපි කිවිවාට ඉතින් මේකට නිහාලුත් එක්ක ජයම්පති අයියා තමා මැදිහත් වුණේ. ඉතින් ඔහෙමන් ඔහෙම තමා රැයට ගොඩවුණේ. අල්ලාප සල්ලාපයත් එක්කම මේ රැය ඉවර වෙද්දී පාන්දර 2.30ත් පහුවෙලා. හදත් මොදු වෙලා ඒ අස්සේ හැම වෙලේම අහස්යන්තර යනවා ඉවරයක් නැතුව. අපේ අයට ඉතින් රජ මගුල් වගේ. ආහ් කියන්න අමතක වුණානේ. පිටවල පතනෙන් එද්දී හම්බුණ UFO එක. ඒකත් එක්ක නටපු නැටුම ටික දැක්කානම් ඒකේ ගියපු එකාලා බැහැලා ඇවිත් අපිට ගහලා යනවා. බලාගෙන ගියාම ඒක අපි හදුනා ගත් තවත් එක් ගුවන් යානයක්. මතක් උන නිසා කිව්වේ....හාද? ආයෙත් රැයට ගොඩවෙමුකෝ. ගිණිමැලේ උණුහුමත් හරි හරියට වැඩිවෙද්දී අපේ කට්ටියගේ කතාවත් ඉවරයක් නෑ. සිංදු කියවිල්ලත් ඉවරයක් නැති වෙද්දී වටේ පිටේ කොල්ලෝ කුරුට්ටෝ වෙනුවට බල්ලෝ බලල්ලුනම් රැස්වුණා. එහෙම කිව්වාට අපේ සිංදු අපිට ලස්සනයි. බල්ලෝ හිටියාට බලල්ලු ආවේ නෑ. ආපු එකම බල්ලාටත් නිසාදි නිලයටම දුන්නේ පුංචිම පුංචි මස්කට්ටකින්. ඔව්වා ඉතින් රසකතා. චින්තානීගේ ගේම් එක. අම්මෝ..... හිනාවෙලා ඉවරයක් නෑ... ඒ අස්සේ කූඹියා...ජම්බුගහ.... ගහෙන් වැටීම.. අදී එකි මෙකි නොකි අනාගතයේ කියන්නට තියෙන සියලු කතා වලින් මේ රැය අතිශය සුන්දරවෙලා ශෘංගාර වෙලා ගියා කියන්නකෝ... හොදම කතා ටික පටන් ගත්තේ රෑ මැදියමේ ඒ තමා දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත හොල්මන් කතා. චතුර සර් ඉතින් ශුරයා වගේ කතා ටික කියන්න පටන්ගද්දී ඉතින් කට්ටිය ෆුල් හොල්මන්. ඒ අස්සේ රසිත මල්ලීගේ විරහ ගීත ටික. තාමත් හද පිලි රැව් දෙනවා.. අඩ නින්දෙන් උනත් ඇහරන් හිටපු දිලිනි සහ හසිනි යුවලට අපගේ ප්‍රමාණය. ප්‍රණාමය නෙවෙයි ඕං.. සුදම් මල්ලිගේ තත් භාණ්ඩයත් රසිත් මල්ල්ගේ තාල භාණ්ඩයත් නිසා අපේ ගීත ඇත්තටම ගායනයක් උනා එදා රෑ..... ඕං ඉතින් වචනයක් කියන්න බැ සිංදුවක් අල්ලගන්න කෙනාට වචනයක් ආවා... මතකනේ සිංදුව එදා රෑ....ගුවන් තොටුපලේදී මා... වෙන්වී ගියේ.... ඇති නේද...... චින්තානීගේ බටර් ගෑවිල්ල.... උපේක්ෂා හොල්මන් කතා අහලා බයවීම... අදී සියල්ලන්ගෙන් මේ රැයනම් හරිම සුන්දරයි. ඒ නිසාම තමා අපේ එඩිතර කාන්තාවන්ගේ දොර ඉස්සරහා බිමට මෙට්ට දාගෙන සැපට අපිට නිදාගන්න පුලුවන් උනේ..
රැය රැයටම අයිති වෙද්දී මේ උදාවෙන්නේ ඉලුක්කුඹුරට අරුණෝදයයි. කවුරුත් දන්නවානේ චන්දික අයියාගේ තැනට ඉර දෙයියෝ වඩිනාකාරයේ ලස්සන.. ඒ හින්දාම කැමරා ආම්පන්නත් අරගෙන අපි ශරීර කූඩු කෙලින් කරවා ගත්තේ ඉරටත් කලියෙන්. කට්ටිය ඔක්කෝම ඇහැරුනත් එක්කම අපි උදේ පාන්දරම ගියේ ආයේත් තෙලිගමු කොමලියත් එක්ක දැවටෙන්න.. එහෙම කිව්වාට අවුල්ද මන්දා... ඒ උනත් එහෙමම කියන්නම්.. හැබැයි ඉතින් හොදම හරිය පටන් ගත්තේ එතැනින් එහාට. මාළු කෑම... නැත්නම් මාලුවා විසින් කෑම.. ඒ ගැනනම් කතා නොකරම ඉන්නම්. මොකද කතා කරන්න ගියොත් කෑ ගහනවා. විශේෂයෙන්ම චින්තනි.. දිලිනි දෙපල... උපේක්ෂා...
උදේම වතුරට බැහැගත්ත නිසා බඩගින්නත් අහස උසට ඒ නිසාම ජයම්පතී අයියාගේ කෑම ටික පංකාදුවට හිස් බඩට සාන්ද්‍රණය වෙලාම ගියා. ඊටම ගැලපෙන්න මේ දැන් ගහෙන් බාගත්ත රාඩිංගකුත් තොලකට ගාගන්න ලැබුණ එකනම් ආයේ වචනයෙන් කියන්න දෙයක් නෑ. දැන් බලාගෙන ගියාම කිසිම දෙයක් කියන්න නෑ නේ.. ඇයි කියන්න ගත්තොත් ඒ ගැනනම් කියන්න දෙයක් නෑ කියනවානේ... හරි හරි එහෙම කියන්නේ ඒ ඒ අවකාශයන්ගේ රස ගියපු අය දන්න නිසා...
දැන්නම් ඉතින් ලෝජ් එකට සමුදෙන්න කාලය. මෙතන නොහිටියත් චන්දික අයියාවත් මතක් කරගෙනම ජයම්පතී අයියාට සමුදුන්නේ ආයේ එන බලාපොරොත්තුව ස්තූතියත් එක්ක මුහු කරගෙන.
දැන් අපේ ගමන සේර ඇල්ල බලන්න යන්න කියලා. කට්ටෙට වේලෙන කාලේ තමා අපි මේ ගියේ. මේ ඉසව්වේ කැලේ කොලේ ගැන දන්න කවුරුත් කීවේ ගිහින් වැඩක් නෑ.. වතුරනම් නැතුව ඇති කියලා. ඒත් ඉතින් අපෙ එක්කෙනෙක් ගෙවල් වලට සෑහෙන ලයින් දීලා ඇවිත්නේ සේරැල්ලට යනවාමයි කියලා. එයා ඇතුලු අනෙක් අය ගැනත් හිතලා දුර ගෙවාගෙන අපි සේරැල්ල වෙනුවට මහ ගල්ගෙඩියක් බලාගෙන ආවා. හැබැයි අපි ඒ ගලට පොරොන්දු වුණා වතුර තියෙන කාලේක ආයෙත් එනවාමයි කියලා. ඒ නිසා අපි ආයෙත් සේරැල්ලේ ලස්සන බලන්න වතුර තියෙන කාලේක එමු.
දැන්නම් ඉතින් ඉර දෙයියෝ ඉස්මුදුනෙනුත් අවරගිර පැත්තට බැහැලා. මේ ලෑස්තිය රෙඩ්බානාවට යන්න කියලා. රෙඩ්බානා කියන්නේ වෙනම කතාවක්. අපි යන්නේ රෙඩ්බානා වල නිහාල්ලාගේ ගෙදර. රෙඩ්බානා කියන්නේ ඇත්තටම පතනේ ගමලු. පතනේ ගම රෙඩ්බානා කියන ව්‍යාපෘතියෙන් එනසල් වගා කරන්න යොදාගත්ත ගම්මානයක්ලු. ඒ 80 දශකයේ. ඉතින් ඒ කාලේ මේ ගමේ ඉස්කෝල, ඉස්පිරිතාල, මංමාවත්, ප්‍රජාශාලා ආදිය තිබිලා තියෙනවා. කොහොමනමුත් ඒ ව්‍යාපෘතිය ඉවරවෙද්දී මේකේ පදිංචි වෙලා හිටපු පවුල් සියල්ලක් වාගේ ආයෙත් මුලුගම් බිම් බලා ගිහිල්ලා තියෙනවා. ඉතින් නිහාල්ලාගේ පවුල විතරක් මේ කැලේ මැද්දේ ඉතුරුවෙලා. ඒ කාලේ නිහාල් 4වසරට යනකන් ඉස්කෝලේ ගිහින් තියෙන්නේත් මේ පතනේගම ඉස්කෝලේට. අද වෙනකොට මහකැලේ මැද්දේ හුදකලාවේ ඉතිරිවෙලා තියෙන්නේ මේ නිහාල්ලාගේ ගෙදර විතරයි. ඇත්තෙන්ම ඒ ගෙවන ජීවිතය ගැන අපිට හිතාගන්න අමාරුයි. එකතින් ඒ අය වාසනාවන්තයි කියලාත් හිතෙනවා. ඒත් අනෙක් පැත්තටම කොහොමද එහෙම තනියම ඉන්නේ කියලාත් හිතෙනවා. හැබැයි ඉතින් ඒ අයනම් ඒ ගැන ඉන්නේ සතුටින් කියලයි අපිට දැන්ගන්නට ලැබුනේ. කොහොමහරි අපේ දවල් සප්පායම නිහාල්ලාගේ ගෙදරින්. කාටත් මතකයින් ඒ කෑම වේලේ රහ.. බතනම් යකඩමරන් කියලා නැන්දා අපිට කිව්වේ. දේශීය හාලක් පතනේගමම වපුරන.
දැන්නම් ඉතින් රෙඩ්බානාවෙන් සමුගන්න කාලය ඇවිල්ලා. නිහාල්ටත් නැන්දාටත් මාමාටත් ස්තූතිය ඉස්මත්තේ තියාගෙන සමුදුන්න අපි එන මග නතර කලේ හුස්ම හිරකරවන තරමට ලස්සන දර්ශන නිසා.. ඉතින් එව්වා බලන්න කියලා වාහානෙන් එළියට බැස්ස අපේ අයට සිද්ධ වෙච්ච දේ අමතක නෑනේ. ඔය වෙලාවේ තමයි අපේ අයගේ නානාවිද නැටුම් ටික බලාගන්න පුලුවන් උනේ. වීඩියෝවක් තියෙනවා දාන්නද එලියට.... මතක මතක අය මතක් මතක් කරගන්නකෝ...
හැන්දෑව අවරගිරින් විතැන් වෙද්දී අපිත් බටදඩුකන්දට සමුදුන්නේ කන්ද මුදුනේදී උණුසුම් ප්ලේන්ටියකටත් වග කියලා. කාලේකට පස්සේ ගියපු සුන්දර ගමනක්.. ගමනක් කිව්වාට අපේ වචනෙන් වන්දනාවක්... හැමෝම එකග ඇති ඒකට. ට්‍රිප් වලින් වෙනස් වෙලා වන්දනාවක යන මිනිස්සුන්ට විදින්න දේවල මේ අවකාශයේ ඇතිතරම්. ඒ නිසා සැබෑවිය යුත්තේ මේ සොබාදහමත් එක්ක ඒකාත්මික වීමයි.. නිදහස සතුට විදීම ඇත්තේ මේ සොබාදහම තුලයි.. ඒ කතා ඉතින් අපිට දැනුණේ අනිච්ඡානුගවමයි.
බටදඩුකන්දෙන් පිටත් වෙද්දීම රෑ 7ත් පහුවෙලා. මොනාකරත් පහුවදා වැඩ රාජකාරීනේ හැමෝටම..මොකද අද ඉරිදා.. ඒ චානා ද පයිලට් කියලා ටිකක් ගමන ඉක්මන් කලේ රෑ වෙන්න කලින් ගමන අහවර කරන්න. ආයේනම් රෑ වෙන්න දෙයක් නෑ.. මේ උන ටික මදැයි. කට්ටිය කැම්පස් එක ගාවින් බහිද්දී මැද රැයටත් කිට්ටු කරලා. ස්තූති කතාව කරන්න කවුරුත් හිටියේ නැති නිසා ඒ කතාව ඊළග ගමනේදී කියන්නම් කියලා හිතාගෙන මේ ලෑස්තිය සොබාදහමේ සොදුරු මං පෙතක් ඔස්සේ ආයෙමත් ඇවිද යන්නට කාලය හා අවකාශය ඉතිරිකරගෙනම නවතින්න.
ජය

ගෙවුණු ගෙවෙන කාලාවකාශයේ හිත නතර වෙන් සුන්දරම තැන, මන්දාරම්නුවරඑහෙම කිව්වාම ඉතින් කාටත් හුරු පුරුදු පූර්විකාවක්නේ.. මන්දා...
19/07/2018

ගෙවුණු ගෙවෙන කාලාවකාශයේ හිත නතර වෙන් සුන්දරම තැන, මන්දාරම්නුවර

එහෙම කිව්වාම ඉතින් කාටත් හුරු පුරුදු පූර්විකාවක්නේ.. මන්දාරමට එහෙම කියන්නත් හේතුවක් තියෙනවා මොකද එක පාරක් මන්දාරම මීදුමට දැවටිච්ච හිතක් ආයේ ආයේත් නිරායාසයෙන්ම නවතින්නේ ඒ මිදුම අතරේ.. ඒ කදුවැටියේ... ඒ මනුස්සකම් අතර. ඒ නිසා ආයේ ආයේ මන්දාරම්නුවර යන්නේ ඇයි ඇහුවොත් ඒකටත් හේතුවකුත් තියෙනවා ඕං.. හරි දැන් ගමන පටන් ගමුකෝ හරියාකාරවම.. කලින් කිව්වා වගේ මෙදා පාරත් ගියේ මන්දාරමට. ඒ අපේම කට්ටයක් එක්ක. නිසල්, නිශාදි, දිනුකා, දර්ශා, කස්තුරි, ශාක්‍ය.. චානා තමා ගමන් සගයා.
කොහොමෙන් කොහොමහරි කැළණියට ඉරදෙයියෝ ගොඩවෙන්නත් කලියෙන් අපි ගමන පිටත් වුණේ තව ගොඩක් දුර යන්න බලාගෙනම. එහෙම කිව්වාට ඉතින් කස්තුව නැගිට්ටවගන්න උදේ පාන්දරම නිසලුයි ශාක්‍යයි ගියා ඉතින්. මොකද එයා තමා උදේමම ඇහැරිලා තියෙන්නේ. ඉතින් තව රසවත් කතා නිසලුත් අභිනයෙන් කරලාම පෙන්නද්දි කස්තු දත් මැද්ද විදිය එහෙම අපිට තාමත් මතකයි ඕං. දර්ශාව මහර හන්දියෙන් ගොඩකරගද්දී නිෂාදී ගොඩවුණේ කඩවතින්. දැන් ඉන්නේ දිනු විතරයි. දිනුවා මිරිස්වත්තේ ගොඩකරගත්තේ ලැප්ටොප් එකත් එක්කමයි.. හෝල්ට් එකේ හිටපු ඇන්ටිලා අංකල්ලා ටිකත් දිනුවට පරෙස්සමින් ගිහින් එන්න කිව්වේ ඇදුනුම්කමට කියලා හිතුවට එහෙම නෙවෙයිලු. කමක් නෑ ඒ අයටත් යන්නම් කියාගෙන දැන් තමා අපි ගමන හරියාකාරවම පිටත් වෙන්නේ.
තප්පර විනාඩි පැය ගතවෙද්දි අපි හෙමින් හෙමින් නිට්ටඹුවෙන් වරකාපොළටත් වරකාපොළින් කෑගල්ලෙන් පේරාදෙණියට ආවේ උදේ සප්පායමට වග කියන්නත් බලාගෙනම. ආහ්... කියන්න අමතක උනානේ අතර මගදී ඒ කිව්වේ අඹේපුස්සෙන් කස්තු අපිට පොට්ටුත් තිබ්බා. හේතුවනම් දන්නේ නෑ ඉතින්. හොදම දේ තමා නිසල් නහයට පොට්ටු තියාගත්ත එක. ඒ උදේ සප්පායමට. බඩගින්න ඉස්මත්තේ තිබ්බ අපිට ඒ කෑම ටිකනම් පංකාදුයි. කල් වෙලාව ගත වෙන්න නොදී අපි ආයෙත් ගමනට පිටත් උනේ ගයියාගේ අම්මාට තාත්තාට ස්තූතිය ඉස්මත්තේ තියාගෙන.
දැන් අපේ ගමන නුවරින් හාරගමින් හගුරන්කෙතින් පදියපැලැල්ලෙන්..මන්දාරමට... යන ගමනේදී අපි නුවර බලන තැනටත් ගොඩවුණා. කවුරුත් දන්න වීව් පොයින්ට් එක. මතක් වෙන්නත් එක්ක ෆොටෝ කීපයක් කොටාගත්ත අපි ආයෙත් වැවරවුමෙන් ඉස්සරහටම ඇදෙන ගමන්. කල්වේලා නොගෙනම අපි රිකිල්ලගස්කඩට කිට්ටු කරද්දි ඉර දෙයියෝ අපිත් එක්කම ඇවිත් ඉස්මුදුනටම ගොඩවෙලා.
රිකිල්ලගස්කඩින් පදියපැලැල්ල පාරෙන් මන්දාරම ගොඩ වුණ අපි හෙල්මලු කුඹුරු මැදිකරගෙන දිය සීරාවන් අතරින් ආවේ අජිත් අයියාලාගේ ගෙදරට. කවුරුත් දන්න අපේම තැන. මන්දාරම්නුවර අජිත් අයියලාගේ ගෙදර. එදත් අදත් ඒ සුන්දර මිනිසුන්ගේ ලෙන්ගතුකම් ගැනනම් වචනින් කියන්න බෑ. ගෙනාපු බෑග් ආදී දේවල් අජිත් අයියලාගේ ගෙදර ස්ථානගත කරලා අපි කොලපතනය බලන්න යන්න කියලා.
මන්දාරම්නුවර, නම හැදුන විදය මතකනේ. කොයිවෙලෙත් අහස වළාකුලෙන් බරව තියෙන නිසාත් වැහි මන්දාරම නිසාත් තමා මේ නම හැදිලා තියන්නේ. ඒ වගේම තමා වටෙන් කදුවැටියෙන් වටවෙලා නිසා ඉර පායන්නේ කලින් වගේම බහින්නෙත් කලින්. ඒකත් තව හේතුවක්. කොලපතනය කියන්නෙත් පුරාකතාවක්නේ. ඒ ගැන ඇල්ල ළගටම ගිහින් කියන්නම්කෝ. අද රෑ අපි මේ ඉසව්වේ කදවුරු බදින්නයි සැලසුම. ඒ නිසා කලින්ම කොළපතනය බලාකියාගෙන ලෑස්තවෙමු. බෙලිහුල් ඔය තමා කොලපතනයේ නිමැවුමකරු. බෙලිහුල්ඔය දිගේ අපි කොලපතනයට කිට්ටු කරද්දී හීනි වැහිපොදක් ඇග දැවටෙන්න ගත්තේ සීතලත් මුසුකරගෙනමයි. කොලපතනයනම් වෙනදාට වඩා සරුසාරයි. මේ දියඇල්ලට ඒ නම හැදිලා තියෙන්නේ මල්සරා කුමාරයාගේ කතාවකුත් එක්ක. ඒ කාලේ මේ කියන කුමාරයා ඒ කුමාරිකාවත් එක්ක මේ ඇල්ල බලන්න ඇවිත් තියෙනවාලු. එතකොටනම් මේ ඉසව්ව මහකැලයක් වෙන්න ඇති. ඉතින් මේ එන ගමනට කෑමට කොලපතක බත්පතක් ඔතාගෙන ඇවිත් තියෙනවා. ඒ බත්පත කලාතියෙන්නේ මේ ඇල්ල ගාව. එහෙම කාලා ඉතිරිවුණ කොලපත මේ ඇල්ල ගාව දාලා ගිහින් තියෙනවා. ඉතින් කොලපත දාලා ගිය ඇල්ල.. පස්සේ කාලේදි කොලපතන ඇල්ල වුණා කියලා තමා කියන්නේ. මේ මන්දාරමේම මල්සරා නුවර කියලත් ගමක් තියෙනවා. දියඇල්ලේ ලස්සනනම් මේ මතක පොටෝ අතරින් බලාගත්තහැකි. ඇති තරම් කොලපතනයත් එක්ක සොබාදහමේ දැවටුණු අපි හැන්දෑ ගොම්මනත් එක්ක අජිත් අයියලාගේ හේනට සේන්දු වෙන්න ඕනේ. හැන්දෑ ගොම්මනක් කියලා මන්දාරමේ වෙන්කරලා හොයාගන්න වෙනසක් නෑ, මොකද කොයිවෙලෙත් ගොම්මන වගේ තමා.
වැහි පොදකුත් මන්දාරම එක්ක එකතු වෙද්දි අපි කුඩාරම් ලන්තෑරුම් එහෙම කරපින්නාගෙන කන්ද නගින ගමන්. අපේ ගමනට මග පෙන්නන්නේ බිංදුවා.. මන්දාරමේ ඇවිදින්න එන් කාගෙත් හිතවතා..බිංදුවා...එන්න එන්නම වට පිටාව රැයේ අදුරට අයිති වෙද්දි අපි අමාරුවෙන් කදවුරු බිමට ආවේ මහත්තයාගේ උදව්වෙන්. මහත්තයා කිව්වේ අපේ යාලුවා. දැන් සියල්ල හරියාකාරයි. වේලාව හතයි කාලයි. කට්ටියක් කුඩාරම් අටවද්දි අනික් අය ගිණිමැලය ලෑස්ති කලේ මද වැස්සේ. මේ වැස්සනම් පුදුමාකරයි වෙලාවකට වහිනවා..ආයේ වෙලාවකට තරු පේන ගානට පායලා. මන්දාරමේ හැටිද මන්දා. ගිණිමැලයනම් පත්තුකරගත්තා කියන්නකෝ. අපිනම් දුම් වැදිලා රස්නෙන් තැම්බිලා ආතල් එකේ ඉද්දි අපේ ගෑණු ලමෝ ටික කුඩාරමෙන් එලියට ආවේ මන්දාරමේ රැයට ආරධනා කරගෙනමයි. දැන් තමා හොදම හරිය.. වැඩි කතා කියන්නේ නෑ ඉතින්.. ගියපු කට්ටියම ඒවට සාක්ෂි දරයි ඕං.. වචන කීපයක් කියන්නම්.. හිනාවෙලාම... කලු කුකුල් පිහාටු...පාන් සොස් කිරිම.. කොට්ට් සොස් කිරීම... සයනයිඩ් සමග මයියොක්කා.. මට මතක් නෑ අයියෝ සමහරක් කියන්න බෑ.. ඕං ඔය විදියට තමා සතුටින් සිනහවෙන් අපේ මන්දාරමේ රැය පහන් උනේ..
මන්දාරමට අද ඉරදෙයියෝ නොවඩින ගාණයි.. අදෙ දෙවෙනි දවස. අදනම් උදේ ඉදන්ම අහස් වැස්ස එල්ලා ගත්ත ගමන්මයි. කලුවලට පැනගන්න හිතාගෙන හිටියත් වැස්ස නෙවෙයි ඒකට අවසර දුන්නේ. ඒ සියලු සැලසුම් මන්දාරමේ වැස්සට අයිති වෙද්දි අපි ආයේ දවසකට කාලය ඉතිරි කරගෙන පිටත් වෙන්න සුදානම. බිංදුවත් තාමත් අපිත් එක්කමයි. සියලු කාරණ හරියාකාරවම සිද්ධ වෙද්දි අපි අජිත් අයියාටත් ඒ සියලු දෙනාටත් සමුදුන්නේ. ආයෙත් මන්දාරමට එන බලාපොරොත්තුව ඇතිව.
ජය

සොබදහමේ මංපෙත් ඔස්සේ ඇවිදයන්නෝ..මෙවර මංපෙත් ඔස්සේ ඇවිදයන්නේ ගිණිහිරියටයි. දැන් ඉතින් බලනවා ඇතිනේ ගිණිහිරිය කොහෙද කියලා න...
18/04/2018

සොබදහමේ මංපෙත් ඔස්සේ ඇවිදයන්නෝ..මෙවර මංපෙත් ඔස්සේ ඇවිදයන්නේ ගිණිහිරියටයි. දැන් ඉතින් බලනවා ඇතිනේ ගිණිහිරිය කොහෙද කියලා නේ.. මහනුවරින් ඇවිත් අම්පිටියෙන් රටේමුල්ල පාරෙන් තමා ගිණිහිරියට එන්න ඕනේ. ගාල්තැන්න කිට්ටුවයි තියෙන්නේ. ගිණිහිරිය කියන්නේ හන්තාන කදුවැටියත් එක්ක බැදුණු සොබාදහමේ අපූර්වත්වයක්.

හදිස්සියේ යෙදුණ මේ ගමනට ක්‍රිසා, රෙකා, බිරේ, කව්වා මල්ලි, නිපුන් මල්ලි සහා රෙකාගෙ යාලුවෙකුත් එකතුවුණා. රටේමුල්ල කියන්නේ හන්තාන කදුවැටියේ පිටිපස්ස. අපිට පේරාදෙණිය හරහා නුවරට එද්දි හන්තාන කන්ද හරියාකාරවම පේනවානේ. ඒ පිහිටීමම අපිට ගිණිහිරියේ ඉදන් බලන්න පුලුවන්. හැබැයි ඒ කන්දේ පිටිපස්ස. අපි කදුවැටිය වටෙන් ඇවිල්ලා තමා මෙතනට එන්නේ. මේ ඉසව්ව ගැන තොරතුරු දෙන්නේ ශක්ති අයියා. ඒ නිසාමයි හැන්දෑවක ඉදන් හද පහන් වුණු රැයක කදවුරු බැදලා ඉර දෙයියන්ගේ එබිකම් කිරිමත් බලලා එන්න යන්නේ. මෙතනට ආවම නුවර නගරයේ ඉදන් එහා කොණේ දිගන පල්ලේකැලේ එතනින් හන්තාන කදුවැටිය දක්වා පෙනෙන පැනොරාමිය දර්ශනයක් බලාගන්න පුලුවන්. ඒත් එක්කම ඉර දෙයියේ හන්තාන කදුවැටියෙන් අවරට යද්දි අහසේ ඇදපැලද ගැනීම වර්ණාලේපය ඇස් ඊටම අලවාගන්න සමත්. අපි මෙතන රැය පහන් කලේ කදවුරු බැදලා. හද එළිය යටට වෙලා තරු ආකසේ දිහා බලාගෙන ඊටම පහලින් විදුලි පහන්වල එළි අතර ඇස් එක්ක හිත් එහා මෙහා යාම අතිශය සුන්දර අත්දැකිමකි.

සොබදහමේ මංපෙත් ඔස්සේ ඇවිදයන්නෝ ගිණිහිරියට ගොඩවුණේ මේ හන්තාන අඩවියේ තියෙන සොබාදහමේ අපූර්වත්වය නිසාමයි. මිනිසා සොබාදහමටම අයිති කොටසක් මිස මිනිසාට ඊට පරිබාහිර ජීවයක් නොමැත. ඒනිසා මිනිසාගේ ගමන සොබදහමෙහිම වියයුතුය.

හමුවෙමු තවත් සොබාදහමේ මංපෙතකින්. එතෙක් ජය.

සොබදහමේ මංපෙත් ඔස්සේ ඇවිදයන්නෝ.. මංපෙත් ඔස්සේ ඇවිදයන්නන්ගේ පළමු පියනැගීමයි. මේ ගමන මන්දාරම්නුවරටයි. නුවරඑළි දිස්ත්‍රික්ක...
13/04/2018

සොබදහමේ මංපෙත් ඔස්සේ ඇවිදයන්නෝ.. මංපෙත් ඔස්සේ ඇවිදයන්නන්ගේ පළමු පියනැගීමයි. මේ ගමන මන්දාරම්නුවරටයි. නුවරඑළි දිස්ත්‍රික්කයට අයිති මේ ගම පිහිටලා තියෙන්නේ පිදුරුතලාගල කදුවැටියේ. සෞමය දේශගුණයකට උරුමකම් කියන මේ ගම කොයිවෙලෙත් මන්දාරමින් නිසා තමා මේ නම පටබැදිලා තියෙන්නෙත්. හරියට බේසමක අඩිය තියෙනවා වගේ. මන්දාරම්නුවර කියන්නේ සොබාදහමේ අපූර්වත්වයක්.

හා හා පුරා කියලා ගමනනම් පටන්ගන්නේ මිරිස්වත්තෙන්. නලින්දියි, එරික් මල්ලී සහා සුදී මිරිස්වත්තට එද්දි අසනීපෙන් උනත් අශේන් මල්ලී ගන්න ගම්පහටම ගිය අපි යක්කලින් කසුන් මල්ලීත් ගොඩකරගත්තේ නෙළුන්දෙනියෙන් විශ්ව මල්ලියි පබායිි ගොඩකරගන්න බලාගෙන. දැන් සියල්ල හරියාකාරයි. චානාගේ වාහනේ තමා කට්ටය ගමන යන්නේ. ගමන ගියේනම් මාර්තු 31 සහා අප්‍රෙල් 01 දවස් දෙකේ. ඔක්කොම 09 දෙනයි.

දැන් සියල්ල හරියාකාරයි. පාන්දරින් නැගිට්ට නිසාද මන්දා ගොඩක් දෙනා ගල විද්ද තැනට එනකන්ම නින්දට අවනත වෙලා. උදේට කෙටියට හදාගත්ත පාන් ටිකට වගකීවේ කඩුගන්නාවේදී. ඕං ඔය අතරේ තමා එරික් මලයාට උගුරේ අමාරුවක් ආවෙත්. ඒකටත් පිළියමක් පේරාදෙණියෙන් කරගෙන කෙලින්ම අපි ගියේ පේරේ වසන්තය බලන්න. ඒ කිව්වේ පේරාදෙණිය කැම්පස් එකෙ මල් පිපිලා තියෙනවා බලන්න. ගස් පීරගෙන පිපිලා තියෙන කහ මල් වැස්ම ඇස් අලවගන්නේ අපිටත් නොදැනීමයි. වචනෙට කියන්නේ මල් වැක්කෙරෙන ගානට කියලා. ඒ තරමට මල්. ඉතින් ඔය තරමට තියෙන මල්වලින් දෙකක් කඩාගත්ත කියලා පබාත් දෙකක් අහගත්තා. ඒ ගැනනම් කතා නොකරමු ඉමු. කොහොමහරි ඒකත් සුන්දර කතාවක්. හා නැද්ද? කොහොමෙන් කොහොමහරි ඒ කතාව කැඩුණු මල් දෙකත් එක්කම බිමින් තියලා අපි අපේ නිදහස මේ ලස්සන ඒ අවකාශයේදීම විදගත්තේ කහ මල් වැස්සක් වගේ. වේලාව උදේ 10 වෙද්දි අපි ගයියලාගේ ගෙට ගොඩවෙලා තේකක් එහෙමත් බීලා දවල් කෑම ටිකත් අරගෙන පිටත් වුණේ ලූල්කදුර බලාගෙන. ඒ කොණ්ඩගල නගින්න හිතාගෙන. ගලහින් දෙල්තොටින් ලූල්කදුරට ගොඩවුණු අපි නතර වුණේ කොණ්ඩගලින්. ලූල්කදුර කියන්නේ ලංකාවේ පළවෙනි වාණිජමය තේවත්ත. කොණ්ඩගල කියන්නේත් මේ ලූල්කදුරෙමයි. කෙටි තරණකින් පහසුවෙන් ළගාවෙන්න පුලූවන් ලස්සන තැනක් තමා මේ කොණ්ඩගල. වටපිටාවම හරි අපූරුවට එකම තැනක ඉදන් දැකබලාගන්න පුලූවන් තැනක් තමා මෙතැන. ඒ අපුරුවත් හිතේ නිදහසෙන් හිතේ හැටියට විදගනිමින් අපි දවල් සප්පායම ටේලර් ගේ පුටුව ගාවට වෙලාම වගකීවේ තව දුරක් යන්න බලාගෙන.

අපි මන්දාරමට එනකොට හවස් වෙලා. වටපිටාවම අන්ධකාරයට පෙරලෙද්දි අපිත් අජිත් අයියලාගේ ගෙදරට ගොඩවුණේ හවස් ගොම්මනත් එක්ක දැනෙන සීතලත් එක්කමයි. වටපිටාවම නිස්කලංකයේ උපරිමයෙන් නිද්‍රාගත වෙද්දී බෙලිහුල්ඔයේ හඩ මේ රැයේ තාලය වගේ. මන්දාරමේ රැය ඒ විදියට ගෙවෙද්දී අපි උදේම කොළපතනය බලන්න යන්න කියලා. උදේම කීවාට මන්දාරමේ සීතලට අවනත වුණු මේ ශරීර කූඩු ටික කෙලින් කරවගන්නනම් ලේසී වුණේ නෑ. කොහොමෙන් කොහොමහරි අපිත් එක්ක මේ ගමනට එකතුවුණේ සරත් මාමා. සරත් මාමා කියන්නේත් මේ මන්දාරමේ කැළේ කොලේ ගැන හරියාකාරව දන්න කියන කෙනෙක්නේ.

කොළපතනය බලන්න කලියෙන් අපි ටිකක් ඉහලින් තියෙන ඇල්ල බලන්නත් ගියේ මේ මන්දාරමේ සොබාදහමේ අපූරුව නෙතට ගතට වගේම අපේ හිත්වලටත් එකතු කරගන්න. ටිකක් අමාරුවෙන් මේ කදුවැටි හේන් අතරින් ගියපු ගමන මහන්සි වුණාට මේ කොළ බිම්, වනස්පතීන්, නිල් අහස අතරින් ඇවිද යන එක සොබාදහමේ මං පෙත් ඔස්සේ ඇවිදයන්නන්ටනම් ආශ්වාදයකි. වැඩිවේලාවක් ඇල්ල ගාව ඉන්නට කාලයත් හිතත් වෙන්කරගත්ත අපි මන්දාරමේ අංශුමාත්‍රික අවකාශයක සොබාදහම විදගත්තෙමු. ආහ් කියන්න අමතක වුණානේ අපිත් එක්ක අපිට පාර පෙන්නන්න ටොමියත් අපිත් එක්කම ආවේ ගමේ ඉදන්මයි. ටොමියා කිව්වාම ඉතින් කවුද කියලා දන්නවා ඇතිනේ. ඔය ෆොටෝවලත් ඉන්නේ.

අපි පල්ලම් බහිද්දි මන්දාරමේ පොළෙගෙක්ගෙන් අශේන් මලයා බේරුණේ අනුනවයෙන්. ඒ ගැනනම් කියලත් බෑ නොකියත් බෑ. එහෙම කියද්දි අනිත් අයත් මෙයාව පහු කරගෙන තමා ගිහින් තියෙන්නේ. හැමෝම අනුනවයෙන් තමා මෙයාගෙන් බේරිලා තියෙන්නේ. චානා අපිට කලියෙන් ආවට පාර පොඞ්ඩක් එහා මෙහා වෙලා. ඉතින් ඕං ඔය වෙලාවේ තමා ටොමියා චානට හරි පාර පෙන්නලා තියෙන්නේ. ඔය වගේ අකරතැබ්බිත් එක්ක පල්ලම් බැස්ස අපි කොළාපතනයත් බලාගෙන කලූවලට බැස්සේ හිතේ හැටියට ඇගවල් තෙමාගන්න කියලා. ඇති පදමට මන්දාරමේ අයිස් කැට වතුරෙන් ඇගපත පොගවගත්ත අපි දවල් සප්පායමත් හවසටම අරගෙන ආයෙත් ගමන පිටත් වුණේ මන්දාරමටත්, අජිත් අයියලාටත් සමුදෙන ගමන්.

හගුරන්කෙතින් රජ මාවතින් එන ගමනේ කිවුල්ළිදෙන් බීපු සුපිරි ප්ලේන්ටියනම් ආයේ කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. ප්ලේන්ටි විතරක් නෙවෙයි ඒකේ ඉගුරුත් තිබ්බා කියලා මතකනේ. කොහොමෙන් කොහොමහරි අපි හවස 7වගේ වෙද්දි පේරාදෙණිය සේන්දු වුණා. මෙතනින් ගයියා නතර වෙන නිසා ගමනාවසන කතාබහත් එක්කම ආයේම ප්ලෙන්ටියකට වගකීවේ ගමනේ රසමුසු තැන් ආයේ ආයෙත් මතක් කරගනිමින්. මිරිස්වත්තට ගිය අයත් රෑ 10 වගෙ වෙද්දි ගෙවල් වලට ගිහින්. චානත් ආයේ වරකාපොලට පරෙස්සමින් ඇවිත්.

සොබදහමේ මංපෙත් ඔස්සේ ඇවිදයන්නෝ මන්දාරමට ගොඩවුණේ මන්දාරමේ තියෙන සොබාදහමේ අපූර්වත්වය නිසාමයි. මිනිසා සොබාදහමටම අයිති කොටසක් මිස මිනිසාට ඊට පරිබාහිර ජීවයක් නොමැත. ඒනිසා මිනිසාගේ ගමන සොබදහමෙහිම වියයුතුය.

හමුවෙමු තවත් සොබාදහමේ මංපෙතකින්. එතෙක් ජය.

Address

Kandy
20000

Telephone

+94716459190

Website

Alerts

Be the first to know and let us send you an email when Trails posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share