25/07/2019
_මහතලාවෙන් බටදඩුකන්දට_
සොබාදහමේ මංපෙත් ඔස්සේ ඇවිද යන්නට මෙදා පාර ලෑස්තිය මහතාලාවේ, බටදටුකන්දට ගොඩවෙන්න කියලා. එහෙම කිව්වාම බලනවා ඇතිනේ ඒ මොන දීපංකරයක්ද කියලා. කවුරුත් දන්නවානේ මාතලේ ගැන. ඉතින් මාතලේ කියන නම හැදිලා තියෙන්නේ ප්‍රවාදගතවයි. ඒ තමා මනරම් කදුවැටියකින් වටවී තියෙන මහ තැනි තලාව කියන අදහසින්. ඒ කියන්නේ මනරම් කදුවැටියකින් වටවී තියෙන මහතලාව නැත්නම් මහතලය එහෙමත් නැත්නම් මාතලය තමා අද මාතලේ කියලා වහරට එකතුවෙලා තියෙන්නේ.
මාතලේ ගැන කිව්වාට බටදඩුකන්ද ගැන දන්නේ නෑ කියන්නකෝ දැන්. ඒකත් කියලාම ඉන්නම්. බටදඩුකන්ද කියන්නේ අපි කවුරුත් දන්න රිවර්ස්ටන්වලට. රිවර්ස්ටන් කියන්නේ දුම්බර කදුවැටියට අයත් කන්දක්නේ. සමහරු දුම්බරට නකල්ස් කියලත් කියනවා. ඔය නකල්ස්, රිවර්ස්ටන් කියන නම් මෑත අතීතයට තමයි අයිති. ඒ නිසා අපිනම් කැමති අපේ හිතට දැනෙන ලංකාවේ ප්‍රවාදයේ එන නමට. ඒ නිසා අපි ගියේ දුම්බර කදුවැටියේ තියෙනෙ බටදඩුකන්දට. මේ කදුවැටිය බටදඩුවලින් සුලබව පැවතීමලු මෙහෙම බටදඩුකන්ද කියලා කියන්න හේතුව. අහ්හ්....කියන්න අමතකවුණා දුම්බර කදුවැටිය කියන්නේ ලංකාවේ හදවත වගේ තැනක් වගේම ජල පෝශකයක්. හැම වෙලේම දුමින් නැත්නම් මීදුමෙන් බර, දුමින්බර කදුවැටිය පස්සේ කාලේදි දුම්බර කදුවැටිය උනාලු.
ඔය ඉතින් අපේ ගමනාන්තයේ සරල කතාබහා. කතාබහා කිව්වාට මේ කතාව කතාකරගෙනනම් ගොඩක් කල්. ටක්කේටම දින නියම කරගත්තේ මේ ඊයේ පෙරේදා. කොහොමෙන් කොහොමහරි සියලු කාරණා හරියාකාරව සිද්ධ වෙද්දී කැළණි තොටටත් ඉර දෙයියෝ වඩින්න ඔන්න මෙන්න වගේ. හරියටම 5.30ට කැම්පස් එකට සෙට්වෙමු කියලා කට්ටිය කතා කරගත්තේ අඩුම 6ටවත් පිටත් වෙමු කියලා. කැම්පස් එක ගාවින් ගමනට එකතු වුණේ රසිත, චින්තානී, සුදම්, දිලිනි සහ හෂිනි, චතුර සර් එක්ක චානක. නිසාදී නැග්ගේ කඩවතින්. දන්නවානේ ඉතින් හැමදාමත් අපේ ගමන් සගයා චානානේ. දැන්නම් Travel With Chana කියලා නම් ගම් වෙනස් කරලාලු රථගායටත් Travel ගායටත් තියෙන ඉත්තෑවා නිසාම. ඔය එකී මෙකී නොකී නම් කියපු සියලු දෙනාට සුවිශේෂි විදියේ ආවේනික පිස්සු ගති ඇති අයනේ. පිටට පේන විදියට හිටියාට ඇත්ත තත්වේ දැනගත්තේ බටදන්ඩේ මී දුමම වැදිලා. ඒ ගැන පස්සේ කියන්නම්කෝ.
කොහොමෙන් කොහොමහරි ගමන පිටත්වෙද්දීම අපේ සුදම් මලයා තක්බීරිවෙලා තියෙන්නේ දිලිනිගේ අනික් පලුව දැකලා. මොකද දිලිනි හෂිනියි ටුවින්ස්ලාලු. ඉතින් කවුරුත් කලින් නොදැක්ක නොදැකපු නිසා සුදම් මලයාට වෙලා තියෙන්නේ ගමන පටන්ගද්දීම අකරතැබ්බියක්. මොකද දන්නවාද ඉස්සේල්ලාම සුදම්ට සුබ උදෑසනක් කියාගෙන දිලිනි ඇවිත් ගියාලු. ඒත් එක්කම ආයේ ටික වේලාවකදී ඒ දිලිනිම ඒ පැත්තෙන්ම ඇවිත්. වෙන දෙයක් හිතාගන්න බැරුව දගලද්දී තමා හරියාකාර විස්තරේ පස්සේ දැනගෙන තියෙන්නේ. ඔය ඉතින් ගමන පටන් ගන්න කලියෙන් වෙච්ච එකම එක දේ. බලද්දී ඒ හෂිනිලු. ඊට වඩානම් දෙයක් සිද්ධ වෙලා නෑ මොකද හැමෝම වැටුණ වැටුණ තැන්වලට නින්දට යටවුණා කියලාලු ආරංචි. එක්කෙන්නෙක්නම් දන්නේ කඩවතින් වෑන් එකට නැග්ගා කියලා විතරලු.
දැන් ඉතින් සියලු කාරණා හරියාකාර වෙද්දී ඉර දෙයියොත් එක්කම කට්ටිය නිට්ටඹුව වරකාපොල කෑගල්ල මාවනැල්ල පේරාදෙණිය හරහා මහකන්දට ආවේ ගයියාස් ප්ලේස්වලට. ඔය කාණ්ඩේ එනකන් මම ඉතින් ගෙදර තමා හිටියේ. උදේ සප්පායත් හරිහරියට පිළිවෙලක් වෙද්දී හෂිනිගේ කටහඩ කොයිවගේද කියලා හැමෝම අහගත්තේ අපේ ගෙදරදී. ඒ ගැන ඉතින් නොකියාම ඉන්නම්කෝ.
උදේ කෑමත් පිලිවෙලක් කරගත්ත අපේ ගමන හරියටම පටන්ගන්නේ දැන්. අම්මාටත් තාත්තාටත් තාවකාලිකව සමුදුන්න අපේ නඩේ යන ගමනටත් ඩොංගාව මතක්කලේ උපේක්ෂාගේ පාන්ගෙඩියත් නිසාදීගේ ලූපන්ජියටත් ආදේශ කරමින්. මේ කතා ජිල්පිට් ද ඩොංගා දන්නාවානම් ආයේ කවදාවත් මූන තියා පස්සවත් බලන්නේ නෑ.
ඕන්න දැන් තමා ගමන හරියට පටන් ගත්තේ. දැන්නම් ඉතින් එහෙන් මෙහෙන් අප්පුඩියක් සිංදුවක් ඇහෙන ගමන්. වැඩි වේලාවක් ගන්නේ නැතුව අපි මහතලාවට යං. මාතලේදී අපේ රෝචා හම්බෙලා රෑ කෑමට අවශ්‍ය අඩුම කුඩුම ටිකක් ගන්නත් තියෙනවා. වැඩ රාජකාරී අස්සේ උනත් රෝචාත් එක්ක ගිහින් ඒ ටික පිලිවෙලක් කරගද්දී ඉරදෙයියෝ ඉස්මුදුනටම ගොඩවෙලා හෙවනැල්ල පයට පෑගෙන ගානට ඇවිත්. ඒ නිසාම රෝචාටත් ස්තූතිය ඉස්මත්තේ තියාගෙන සමුදෙමින් අපි රත්තොට හරහා ආවේ බඹරකිරියට.
ඉස්සෙස්සෙල්ලාම අපි ගියේ බඹරකිරි ඇල්ලට. වතුර නම් ටිකක් අඩුයි තමා එහෙම කියලා ඉතින් බඹරකිරියේ ලස්සනේ අඩුවක්නම් නෑ.. පහුගිය කාලේ රටේ තිබ්බ කලබලත් එක්ක මේ සති අන්තේ තමා කට්ටිය සංචාරයන් පටන්ගෙන තියෙන්නේ. ඒ හින්දාම අද දවස ටිකක් විතර කලබලයි. කලබලයක් නැති නිසාම පිටවල පතනට එද්දී හවස 3ට විතර ඇති. පොඩියට වැහි පොද ගතියක් තිබ්බත් වළාකුළුවලට යටවුණු ඉරදෙයියන්ගේ කිරණත් එක්ක හැප්පෙන වැහි බිංදු ඇසටත් හිතටත් සනීපයක්. වලාකුළු අස්සෙන් වෑස්සෙන රැස් ඈත කදු මත්තෙහි පතිත වීම ඇසද හිතද ඊටම අලවාගන්නට සමත්.
දවල් සප්පායමත් පතනට කිට්ටුවේදී අහවරයක් වෙද්දී කට්ටයම ගොඩවුණේ පතනේ පුංචි ලෝකන්තයට. දන්නවානේ ඉතින් එතන විස්තරය දවසම උනත් එක එල්ලේ දැහැන්ගත වෙන්න පුලුවන් අවකාශයක් තමා පිටවල පතනේ පුංචි ලෝකාන්තය කියන්නේ. මතක් කරන්නම ඕනේ පතනේ මේ වෙනකොටනම් යම් පිලිවෙලක් වෙලා. ඒ දුම්බර මිතුරෝ සංවිධානයේ මැදිහත්වීමෙන්. කවුරුත් දන්නවානේ පිටවල පතන කියන්නේ කදුකර ගල්පර මැඩියාගේ වාසස්ථානය කියලා. ඒ නිසා මේ තියන හැම අඩියක්ම පරෙස්සමින්. ඒ ගැනත් හිතේම තියාගෙන අපි පුංචි ලෝකන්තයට එද්දී අපිව පිළිගත්තේ සුන්දරතම් හැන්දෑවකින්. අවරිගිරින් ගෙට ගොඩවෙන ඉරදෙයියන් පිළිගැනීමට අහස් කුටුම්භය හරි ලස්සනට හැඩවෙලා. නිල් අහස පුරාවට තැනින් තැන අලවාගත් වළාකුළු කැටි අපි කුඩාකල ඇදි චිත්‍රයක් වගේ. අපි හැමෝගෙම හිත් ඇස් අස්සෙන් හිතටම අවනතවූ මේ සිතුවමට යටත්වෙලා. ඒ ගැන නොදැනීම ගතවු කාලාවකාශය අනිච්ඡානුගවම ගෙවිලා ගියේ රැයටත් ආරාධනා කරමින්.
අපේ නවාතැන චන්දික අයියාගේ Knuckles Forest Lodge. කවුරුත් නොදන්න තැනක් නෙවෙයිනේ එතැන. ඒ නිසා හුරුපුරුදු හිතෙන් අපි ගොඩවෙද්දී අපිව පිළිගත්තේ ජයම්පති අයියා. අපේම හිතවතෙක් තමා. ආපු ගමනටම සරතැසට තිත තියන්න උණු උණුවේ ප්ලේන්ටියක් බීලම අපි ගියේ තෙලිගමුවට. අපි කියන්නේ පිරිමි උදවිය ටික විතරයි ඉතින්. ඈතින් මෝදු වෙන හදත් එක්කම තෙලිගමු කොමලිය හරි නිස්කලංකයේ ගලා බසින් හැඩයි. ඒ නිශ්චල බව භාවනාවක් වගේ. ඇගට සනීපෙට දැනෙන් සීතලත් පෙරවගෙනම අපි ඇග පත තෙමා ගත්තේ කිටි කිටියේ. දැන්නම් හැම දේම හරියාකාරයි. ඒ නිසාම නවාතැනට ආපු අපි ඉස්සේල්ලාම කලේ ගිණිමැලයක් ගහගත්ත එක. අපි කිවිවාට ඉතින් මේකට නිහාලුත් එක්ක ජයම්පති අයියා තමා මැදිහත් වුණේ. ඉතින් ඔහෙමන් ඔහෙම තමා රැයට ගොඩවුණේ. අල්ලාප සල්ලාපයත් එක්කම මේ රැය ඉවර වෙද්දී පාන්දර 2.30ත් පහුවෙලා. හදත් මොදු වෙලා ඒ අස්සේ හැම වෙලේම අහස්යන්තර යනවා ඉවරයක් නැතුව. අපේ අයට ඉතින් රජ මගුල් වගේ. ආහ් කියන්න අමතක වුණානේ. පිටවල පතනෙන් එද්දී හම්බුණ UFO එක. ඒකත් එක්ක නටපු නැටුම ටික දැක්කානම් ඒකේ ගියපු එකාලා බැහැලා ඇවිත් අපිට ගහලා යනවා. බලාගෙන ගියාම ඒක අපි හදුනා ගත් තවත් එක් ගුවන් යානයක්. මතක් උන නිසා කිව්වේ....හාද? ආයෙත් රැයට ගොඩවෙමුකෝ. ගිණිමැලේ උණුහුමත් හරි හරියට වැඩිවෙද්දී අපේ කට්ටියගේ කතාවත් ඉවරයක් නෑ. සිංදු කියවිල්ලත් ඉවරයක් නැති වෙද්දී වටේ පිටේ කොල්ලෝ කුරුට්ටෝ වෙනුවට බල්ලෝ බලල්ලුනම් රැස්වුණා. එහෙම කිව්වාට අපේ සිංදු අපිට ලස්සනයි. බල්ලෝ හිටියාට බලල්ලු ආවේ නෑ. ආපු එකම බල්ලාටත් නිසාදි නිලයටම දුන්නේ පුංචිම පුංචි මස්කට්ටකින්. ඔව්වා ඉතින් රසකතා. චින්තානීගේ ගේම් එක. අම්මෝ..... හිනාවෙලා ඉවරයක් නෑ... ඒ අස්සේ කූඹියා...ජම්බුගහ.... ගහෙන් වැටීම.. අදී එකි මෙකි නොකි අනාගතයේ කියන්නට තියෙන සියලු කතා වලින් මේ රැය අතිශය සුන්දරවෙලා ශෘංගාර වෙලා ගියා කියන්නකෝ... හොදම කතා ටික පටන් ගත්තේ රෑ මැදියමේ ඒ තමා දැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත හොල්මන් කතා. චතුර සර් ඉතින් ශුරයා වගේ කතා ටික කියන්න පටන්ගද්දී ඉතින් කට්ටිය ෆුල් හොල්මන්. ඒ අස්සේ රසිත මල්ලීගේ විරහ ගීත ටික. තාමත් හද පිලි රැව් දෙනවා.. අඩ නින්දෙන් උනත් ඇහරන් හිටපු දිලිනි සහ හසිනි යුවලට අපගේ ප්‍රමාණය. ප්‍රණාමය නෙවෙයි ඕං.. සුදම් මල්ලිගේ තත් භාණ්ඩයත් රසිත් මල්ල්ගේ තාල භාණ්ඩයත් නිසා අපේ ගීත ඇත්තටම ගායනයක් උනා එදා රෑ..... ඕං ඉතින් වචනයක් කියන්න බැ සිංදුවක් අල්ලගන්න කෙනාට වචනයක් ආවා... මතකනේ සිංදුව එදා රෑ....ගුවන් තොටුපලේදී මා... වෙන්වී ගියේ.... ඇති නේද...... චින්තානීගේ බටර් ගෑවිල්ල.... උපේක්ෂා හොල්මන් කතා අහලා බයවීම... අදී සියල්ලන්ගෙන් මේ රැයනම් හරිම සුන්දරයි. ඒ නිසාම තමා අපේ එඩිතර කාන්තාවන්ගේ දොර ඉස්සරහා බිමට මෙට්ට දාගෙන සැපට අපිට නිදාගන්න පුලුවන් උනේ..
රැය රැයටම අයිති වෙද්දී මේ උදාවෙන්නේ ඉලුක්කුඹුරට අරුණෝදයයි. කවුරුත් දන්නවානේ චන්දික අයියාගේ තැනට ඉර දෙයියෝ වඩිනාකාරයේ ලස්සන.. ඒ හින්දාම කැමරා ආම්පන්නත් අරගෙන අපි ශරීර කූඩු කෙලින් කරවා ගත්තේ ඉරටත් කලියෙන්. කට්ටිය ඔක්කෝම ඇහැරුනත් එක්කම අපි උදේ පාන්දරම ගියේ ආයේත් තෙලිගමු කොමලියත් එක්ක දැවටෙන්න.. එහෙම කිව්වාට අවුල්ද මන්දා... ඒ උනත් එහෙමම කියන්නම්.. හැබැයි ඉතින් හොදම හරිය පටන් ගත්තේ එතැනින් එහාට. මාළු කෑම... නැත්නම් මාලුවා විසින් කෑම.. ඒ ගැනනම් කතා නොකරම ඉන්නම්. මොකද කතා කරන්න ගියොත් කෑ ගහනවා. විශේෂයෙන්ම චින්තනි.. දිලිනි දෙපල... උපේක්ෂා...
උදේම වතුරට බැහැගත්ත නිසා බඩගින්නත් අහස උසට ඒ නිසාම ජයම්පතී අයියාගේ කෑම ටික පංකාදුවට හිස් බඩට සාන්ද්‍රණය වෙලාම ගියා. ඊටම ගැලපෙන්න මේ දැන් ගහෙන් බාගත්ත රාඩිංගකුත් තොලකට ගාගන්න ලැබුණ එකනම් ආයේ වචනයෙන් කියන්න දෙයක් නෑ. දැන් බලාගෙන ගියාම කිසිම දෙයක් කියන්න නෑ නේ.. ඇයි කියන්න ගත්තොත් ඒ ගැනනම් කියන්න දෙයක් නෑ කියනවානේ... හරි හරි එහෙම කියන්නේ ඒ ඒ අවකාශයන්ගේ රස ගියපු අය දන්න නිසා...
දැන්නම් ඉතින් ලෝජ් එකට සමුදෙන්න කාලය. මෙතන නොහිටියත් චන්දික අයියාවත් මතක් කරගෙනම ජයම්පතී අයියාට සමුදුන්නේ ආයේ එන බලාපොරොත්තුව ස්තූතියත් එක්ක මුහු කරගෙන.
දැන් අපේ ගමන සේර ඇල්ල බලන්න යන්න කියලා. කට්ටෙට වේලෙන කාලේ තමා අපි මේ ගියේ. මේ ඉසව්වේ කැලේ කොලේ ගැන දන්න කවුරුත් කීවේ ගිහින් වැඩක් නෑ.. වතුරනම් නැතුව ඇති කියලා. ඒත් ඉතින් අපෙ එක්කෙනෙක් ගෙවල් වලට සෑහෙන ලයින් දීලා ඇවිත්නේ සේරැල්ලට යනවාමයි කියලා. එයා ඇතුලු අනෙක් අය ගැනත් හිතලා දුර ගෙවාගෙන අපි සේරැල්ල වෙනුවට මහ ගල්ගෙඩියක් බලාගෙන ආවා. හැබැයි අපි ඒ ගලට පොරොන්දු වුණා වතුර තියෙන කාලේක ආයෙත් එනවාමයි කියලා. ඒ නිසා අපි ආයෙත් සේරැල්ලේ ලස්සන බලන්න වතුර තියෙන කාලේක එමු.
දැන්නම් ඉතින් ඉර දෙයියෝ ඉස්මුදුනෙනුත් අවරගිර පැත්තට බැහැලා. මේ ලෑස්තිය රෙඩ්බානාවට යන්න කියලා. රෙඩ්බානා කියන්නේ වෙනම කතාවක්. අපි යන්නේ රෙඩ්බානා වල නිහාල්ලාගේ ගෙදර. රෙඩ්බානා කියන්නේ ඇත්තටම පතනේ ගමලු. පතනේ ගම රෙඩ්බානා කියන ව්‍යාපෘතියෙන් එනසල් වගා කරන්න යොදාගත්ත ගම්මානයක්ලු. ඒ 80 දශකයේ. ඉතින් ඒ කාලේ මේ ගමේ ඉස්කෝල, ඉස්පිරිතාල, මංමාවත්, ප්‍රජාශාලා ආදිය තිබිලා තියෙනවා. කොහොමනමුත් ඒ ව්‍යාපෘතිය ඉවරවෙද්දී මේකේ පදිංචි වෙලා හිටපු පවුල් සියල්ලක් වාගේ ආයෙත් මුලුගම් බිම් බලා ගිහිල්ලා තියෙනවා. ඉතින් නිහාල්ලාගේ පවුල විතරක් මේ කැලේ මැද්දේ ඉතුරුවෙලා. ඒ කාලේ නිහාල් 4වසරට යනකන් ඉස්කෝලේ ගිහින් තියෙන්නේත් මේ පතනේගම ඉස්කෝලේට. අද වෙනකොට මහකැලේ මැද්දේ හුදකලාවේ ඉතිරිවෙලා තියෙන්නේ මේ නිහාල්ලාගේ ගෙදර විතරයි. ඇත්තෙන්ම ඒ ගෙවන ජීවිතය ගැන අපිට හිතාගන්න අමාරුයි. එකතින් ඒ අය වාසනාවන්තයි කියලාත් හිතෙනවා. ඒත් අනෙක් පැත්තටම කොහොමද එහෙම තනියම ඉන්නේ කියලාත් හිතෙනවා. හැබැයි ඉතින් ඒ අයනම් ඒ ගැන ඉන්නේ සතුටින් කියලයි අපිට දැන්ගන්නට ලැබුනේ. කොහොමහරි අපේ දවල් සප්පායම නිහාල්ලාගේ ගෙදරින්. කාටත් මතකයින් ඒ කෑම වේලේ රහ.. බතනම් යකඩමරන් කියලා නැන්දා අපිට කිව්වේ. දේශීය හාලක් පතනේගමම වපුරන.
දැන්නම් ඉතින් රෙඩ්බානාවෙන් සමුගන්න කාලය ඇවිල්ලා. නිහාල්ටත් නැන්දාටත් මාමාටත් ස්තූතිය ඉස්මත්තේ තියාගෙන සමුදුන්න අපි එන මග නතර කලේ හුස්ම හිරකරවන තරමට ලස්සන දර්ශන නිසා.. ඉතින් එව්වා බලන්න කියලා වාහානෙන් එළියට බැස්ස අපේ අයට සිද්ධ වෙච්ච දේ අමතක නෑනේ. ඔය වෙලාවේ තමයි අපේ අයගේ නානාවිද නැටුම් ටික බලාගන්න පුලුවන් උනේ. වීඩියෝවක් තියෙනවා දාන්නද එලියට.... මතක මතක අය මතක් මතක් කරගන්නකෝ...
හැන්දෑව අවරගිරින් විතැන් වෙද්දී අපිත් බටදඩුකන්දට සමුදුන්නේ කන්ද මුදුනේදී උණුසුම් ප්ලේන්ටියකටත් වග කියලා. කාලේකට පස්සේ ගියපු සුන්දර ගමනක්.. ගමනක් කිව්වාට අපේ වචනෙන් වන්දනාවක්... හැමෝම එකග ඇති ඒකට. ට්‍රිප් වලින් වෙනස් වෙලා වන්දනාවක යන මිනිස්සුන්ට විදින්න දේවල මේ අවකාශයේ ඇතිතරම්. ඒ නිසා සැබෑවිය යුත්තේ මේ සොබාදහමත් එක්ක ඒකාත්මික වීමයි.. නිදහස සතුට විදීම ඇත්තේ මේ සොබාදහම තුලයි.. ඒ කතා ඉතින් අපිට දැනුණේ අනිච්ඡානුගවමයි.
බටදඩුකන්දෙන් පිටත් වෙද්දීම රෑ 7ත් පහුවෙලා. මොනාකරත් පහුවදා වැඩ රාජකාරීනේ හැමෝටම..මොකද අද ඉරිදා.. ඒ චානා ද පයිලට් කියලා ටිකක් ගමන ඉක්මන් කලේ රෑ වෙන්න කලින් ගමන අහවර කරන්න. ආයේනම් රෑ වෙන්න දෙයක් නෑ.. මේ උන ටික මදැයි. කට්ටිය කැම්පස් එක ගාවින් බහිද්දී මැද රැයටත් කිට්ටු කරලා. ස්තූති කතාව කරන්න කවුරුත් හිටියේ නැති නිසා ඒ කතාව ඊළග ගමනේදී කියන්නම් කියලා හිතාගෙන මේ ලෑස්තිය සොබාදහමේ සොදුරු මං පෙතක් ඔස්සේ ආයෙමත් ඇවිද යන්නට කාලය හා අවකාශය ඉතිරිකරගෙනම නවතින්න.
ජය