24/07/2024
සැලළිහිණි මං සලකුණු 31
යාල
යාල ජාතික වනෝද්‍යානය ලංකාවේ තියෙන දෙවන විශාලතම වනෝද්‍යානය හැටියටයි සැලකෙන්නෙ. දකුණු පළාතට හා ඌව පළාතට අයත් හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්ක දෙක තුල ලංකාවේ ගිණිකොණ දිගට වෙන්න තමයි වනෝද්‍යානය පැතිරිල තියෙන්නෙ. හෙක්ටයාර් 97000 කට ( වර්ග කිලෝ මීටර් 978 ) කට වැඩි භූමි ප්‍රදේශයක් පුරා වියලි කලාපීය භූ විෂමතා ලක්ෂණ වලින් හෙබි උසින් අඩු ගස් කොලන් වගේම කටු පඳුරු සහිත වනාන්තර තමයි පැතිරිල තියෙන්නෙ. දකුණු දිග වෙරල තීරයට ආසන්නයේ තියෙන්නෙ කිවුල් ජලය පිරුණු කළපු හා වගුරු බිම්. මැණික් ගඟ හා කුඹුක්කන් ඔය ගලාගෙන යන්නෙ මේ යාල වනෝද්‍යානය හරහා. බුතව වැව, පටනංගල වැව, විලපලා වැව, හීන්වැව ආදී පුංචි පුංචි වැව් දැක ගන්නත් පුළුවන්. ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන අධ්‍යනය කිරීමේ දී ක්‍රි.පූ. 5000 ට වැඩි ඈත යුගයකට අයත් මානව සාධක මේ භූමි ප්‍රදේශයෙන් හමු වී ඇතිබව පුරාවිද්‍යාඥයින් ප්‍රකාශ කරනව. එහෙම තැනක් තමයි මිනිහාගල් කන්ද ප්‍රදේශය.
ඒ වගේම ඈත අතීතයේ පුරාණ රෝහණ රාජධානියේ සශ්‍රීක ප්‍රදේශයක් විදිහටයි යාල වනෝද්‍යානය පිහිටි භූමිය සැලකෙන්නෙ. පසුකාලීනව බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ දඩයම් බිමක් වශයෙනුත් භාවිතා වෙල තියෙනව.1900 විතර වෙන කොට මේ ප්‍රදේශය දඩයම් රක්ෂිතයක් බවට පත් වෙනව. 1907 දී රක්ෂිතය බලාගන්න සුදු ජාතික එංගල් බ්‍රේක්ට් (Henry Engelbrecht ) පත් වෙන්නෙ. 1908 දී අභය භූමියක් ලෙසත් 1938 පෙබරවාරි 25 ඉදන් වනෝද්‍යානයක් වශයෙනුත් ප්‍රකාශයට පත්වෙනව.
2006 මාර්තු 12 ජාතික රූපවාහිනියට නිර්මාණය කළ සැරිසර වාර්තා වැඩසටහන වෙනුවෙන් නිෂ්පාදක කංචන මාරසිංහ, සහාය නිෂ්පාදක නාමල් සූරියබණ්ඩාර, කැමරාශිල්පි දීපාල් ජයසිංහ, කතක නිශාන්ත කහවිට, සහායක රූපසිරි, රියදුරු විමලසේන එක්ක හඬ පටිගත කරණ මම ජාතික රූපවාහිනියෙන් පිටත් වෙන්නෙ යාල Block 2 කලාපයේ සංචාරය කරන්න.
යාල Block2 හෙක්ටයාර් 9931 ක විතර වපසරියකින් යුතු භූමි ප්‍රදේශයක්. මේ කලාපයේ සංචාරය කරන්න පුළුවන් වෙන්නෙ විශේෂ අවසරයක් ඇති පිරිස් වලට විතරයි. ගමන වෙනුවෙන් 4 Weel වාහන දෙකක් තියෙන්න ඕන. පලටුපාන පිවිසුමෙන් ඇතුල් වෙන අපි මුලින්ම යන්නෙ යාල පළමු කොටසේ කෙලවර මැණික් ගග ලඟ පරන තොටුපලට. යාල Block 1 හා Block 2 වෙන් කරන්නෙ මේ මැණික් ගගෙන්. පළමු කලාපයේ සංචාරය කරණ සංචාරකයන්ට වාහන වලින් බැහැල ගිමන් නිවන්න දෙන එක තැනක් තමයි මේ මැණික් ගග අසබඩ. අපේ ගමනට 4 Weel වාහන දෙකක් සමග යාල සහකාර උධ්‍යාන භාරකරු බුද්ධිකත් එකතු වෙනව. අපි කොළඹ ඉඳන් යාල වනෝද්‍යානයට යන කොට හැන්දෑවෙල. අපි යන දවසෙ මැණික් ගඟේ වතුර ටිකක් අඩුයි. 4 Weel වාහන දෙකේ නැගල මැණික් ගඟෙන් එගොඩ වෙන අපි අපේ පලමු රාත්‍රිය ගත කරන්න කූඩාරම් අටවගත්තෙ Block 2 කලාපයේ මැණික් ගං ඉවුරෙ.
මැණික් ගඟෙන් යාල Block 2 වලට ඇතුළු වුණු අපේ අරමුණ කුඹුක්කන් ඔය දක්වා ගමන් කිරීම. මුලින්ම අපි ප්‍රවේශ වෙන්නෙ සුවිශාල පිට්ටනියක් වගේ තියෙන යාල වෙලට. ඇත්තටම මෙතනදි තමයි අපි විශාලම මුව රංචු දැක ගත්තෙ. සමහර රංචු වල මුවන් 200 කට වැඩියි. ඒ වගේම විශාල වශයෙන් වල් ඌරන්, කුළු හරක්, නරි,අලි වගේම කුරුළු රංචුත් යාල වෙලේ බහුලව. පුරාණ රෝහණ රාජධානියේ සශ්‍රීක වෙල්යායක් තමයි මේ යාල වෙල.
ඊ ලඟට අපි ලඟා වෙන්නෙ මැණික් ගඟ කාලෙකට ඉස්සර මුහුදට වැටුණු කල්ලිය ප්‍රදේශයට. මේ වෙනකොට මැණික් ගඟ මුහුදට වැටෙන්නෙ මෙතැන ඉඳන් කිලෝ මීටර් 3ක් විතර ඈතින් පිහිටි පිලින්නාව ප්‍රදේශයෙන්. යාල Block 2 හරහා යන අපේ ගමන වැටිල තියෙන මාර්ගය හරහා ජල මාර්ග බොහොමයක් තියෙනව. යාල වෙල කෙලවරදි හම්බ වෙන්නෙ කටුපිල ආර. කටුපිල ආර ටිකක් මඩ අධික වගේම කිඹුලන් ගැවසෙන ආරක්. ඇත්තටම 4 Weel වාහන අවශ්‍ය වෙන්නෙ මේවායෙන් එගොඩ වෙන්න.
කටුපිල ආරෙන් එගොඩවෙල ටික දුරක් යන කොට අපි පිවිසෙන්නෙ පිලින්නාව ප්‍රදේශයට. මැණික් ගඟේ ඉදන් කුඹුක්කන් ඔයට යන ප්‍රධාන මාර්ගයෙන් දකුණට හැරිල අපි පිලින්නාව කළපුව දෙසට. පිලින්නාව කළපුව සුන්දර දසුන් මවන තැනක්. මැණික් ගඟ මුහුදට වැටෙන්නෙත් පිලින්නාවෙන්. ඒ අවට විශාල වශයෙන් වැලි කඳු දැක ගන්නත් පුළුවන්. යාල වනෝද්‍යානයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි වෙරල තීරයේ වැලි වැටි නිර්මානය වෙල තියෙන එක. අපි යන කොට මෝය කටත් වැලි වැටියකින් වැහිල. මැණික් ගඟේ වතුර අඩු වෙන කොට ස්වභාවිකවම ජලය කලාපය තුල රඳව ගන්න හැටි.
පිලින්නාවෙ වෙරළ තීරයේ මෙ කටු පඳුරු සහිත වැලි වැටි දිගේ අපි යන්න හදන්නෙ මිනිහාගල් කන්ද දිහාවට. ටිකක් අමාරු ගමනක්. කිලෝ මීටර් හතරක වගේ දුරක් පටු පඳුරු සහිත එරෙන වැලි කදු දිගේ ඉදිරියට. සොඳුරු දසුන් රූ ගත කරමින් යන අපේ ගමන සෙමින් පරිස්සමෙන්. මිනිහාගල් කන්ද කියන්නෙ මුහුදු සුළඟට කාදනය වූ දැඩි පාෂාණ කුට්ටි පිහිටි බිමක්. මෙලෙස කාදනය වූ එක් පාෂාණයක් ඈතට පෙනෙන්නෙ බෑග් එකක් කරේ එල්ලන් මහ මුහුද දිහා බලන් ඉන්න මිනිස් රුවක් වගෙයි. එ් හිංද තමයි මෙතනට මිනිහාගල් කන්ද කියන්නෙ. මෙතන කාදනය වූ පාෂාණ මවන්නෙ මනස්කාන්ත දසුන්. අපි මෙතන වැඩි කාලයක් ගත කරන්නෙ ඒ සුන්දරත්වය කැමරා කාචයට නතු කර ගන්න. හමා යන දැඩි සුළග හමුවේ හඬ පටිගත කරණ මං මුහුණ දුන්නෙ දැඩි අසීරුතාවයකට. මිනිහාගල් කන්දෙන් අපි පිටත් වෙන්නෙ හැන්දෑ කළුවරත් එක්ක. යාල වනෝද්‍යානය පිහිටල තියෙන්නෙ ගිණිකොණ දිග මුහුදු තීරයෙ. ඒ හිංද මුහුදෙන් ඉර බහින දසුනක් නෙත ගැටෙන්නෙ නැහැ.
අද දවසේ අපේ රාත්‍රී නවාතැන වෙන්නෙ පිලින්නාව කඳවුරු බිම. හැබැයි එතනට යන්න තවත් ආරකින් එගොඩ වෙන්න වෙල. ඒ තමයි ආගර ආර. ආරෙන් එගොඩ වෙද්දි 4 Weel වාහනේ සීට් වලට වෙනකන් වතුරෙ ගිලුන. වාහනය ඇතුලෙ හිටියත් කැමරා උපකරණ පුළුවන් තරම් උඩට ඔසවාගෙන තමයි අපේ එගොඩ වීම. ඒ වගේම තමයි මේ සියළු දුශ්කර අත්දැකීම් අපේ කැමරාවෙ සටහන් වෙන්නෙ නිශාන්තගෙ විස්තර කිරීම් එක්ක.
පහුවෙනිද පාන්දර අපි පිටත්වෙන්නෙ කුඹුක්කන් ඔය දක්වා ගමන් කරන මාර්ගයේ උඩ පොත්තන කලපුව දිහාවට. මෙතනත් ඉස්සර කදවුරු බිමක් තිබිල තියෙනව. සුනාමි ව්‍යවසනයෙන් එ් අවට විනාශ වෙල. මේ විනාශයත් එක්ක මතුවෙච්ච වැදගත් දෙයක් අපට හමුවෙනව. මැටි වළං ආකාරයට සකස් කරණ ලද පැරණි ලිං කිහිපයක්. කළපුව පහුකරල ඉදිරියට යද්දි අපිට හමුවෙන වැදගත්ම වගේම ටිකක් අනතුරුදායක තැනක් තමයි කැටගල්වල. අවුරුද්ද පුරාම මිරිදිය ජලය රැඳිල තියෙන තැනක්. ඒ වගේම විශාල වශයෙන් කිඹුල්ලු. එගොඩ තැන් තැන් වල අව්ව තපින කිඹුල්ලු අපේ කැමරා කාචයේ සටහන් වෙනව. ඊලගට අපි පිවිසුනේ අපේ ගමන් මාර්ගයෙ තියෙන දුෂ්කරම මග දිගේ. ඒ තමයි පහල පොත්තන කළපුව හරහා ගමන් කිරීම. විශාල වශයෙන් මඩ තියෙන මේ කළපුව හරහා මාර්ගයේ 4 Weel වාහන නොනවත්වාම ධාවනය කරන්න ඕන. ඒ සඳහා 4 Weel වාහන වගේම පලපුරුදු රියදුරු මහත්වරුත් ඉන්න ඕන. මුහුද අද්දරින් යන අපේ ගමන් මගේ හමුවන විශාලතම කළපුවක් තමයි මහිරාව කළපුව. අපිට මේ කළපු පසුකරමින් එද්දි විශාල වශයෙන් ජලජ පක්ෂීන් රූ ගත කරන්න ලැබුණ. ඒ විතරක් නෙමෙයි උස් ගස් මත වසා සිටින උකුස්සන්. මුව රංචු, අලියෙක් දෙන්නෙක්, කුළු හරක්, වල්ඌරන් විතරක්ද තැනකදි අපිට කොටි දෙන්නෙකුත් හමු වෙනව. විශේෂම දේ මහිරාව කළපුවෙදි රූ ගත කරන්න ලැබුණු දුර්ලභ වගේම වඳවී යාමේ තර්ජනයට ලක්වෙල ඉන්න පක්ෂියෙක් වන අලිමානාවන්. හැබැයි මෙතන දැක ගන්න ලැබුණෙත් අලිමානාවන් දෙන්නෙක් විතරයි.
අන්තිමට අපි ලඟා වෙන්නෙ යාල කළාප දෙකේ තියෙන අන්තිම කළපුවට. ගජබා කළපුව. එතැනින් ටිකදුරක් ගියහම හමුවෙන සශ්‍රීක කැලෑබද මාර්ග කොටස අවසන් වෙන්නෙ කුඹුක්කන් ඔයෙන්. දිගු දුෂ්කර ගමන් මාර්ගයක් දිගේ දින කිහිපයක් පුරා ගමන් කරපු අපි අන්තිමට කුඹුක්කන් ඔය කදවුරු බිමට. අපි ගමන් කළ හම්බන්තොට දිස්ත්‍රික්කය අවසන් වෙන්නෙ කුඹුක්කන් ඔයෙන්. මෙතනින් එගොඩ වුනහම අම්පාර දිස්ත්‍රික්කයේ කුමන අභයභූමිය. අවසන් රාත්‍රිය ගත වෙන්නෙ මෙතැන. වෙහෙස මහන්සිය වියැකෙන්න කට්ටියම කුඹුක්කන් ඔයට බැහැල නානව. හැබැයි විමසිල්ලෙන්. දියේ ඉන්න කිඹුල්ලු විතරක් නෙමෙයි ගොඩ ඉන්න අලිය, කොටියගෙනුත් පරිස්සම් වෙන්න ඕන.
කුඹුක්කන් ඔය වෙනද වගේම වගේ වගක් නැතුව ගලාගෙන යනව. රැහැයි පළඟැටි හඬ එක්ක සැන්දෑ කළුවර ගලාගෙන එනව. කුඹුක්කන්ඔය අද්දර දැල්වෙන ගිණි මැලය වටා එකතුවුණු අපි අපේ අවසන් රාත්‍රී භෝජනය අරගන්නව.
ජාතික රූපවාහිනියට නිර්මාණය වූ සැරිසර වාර්තා වැඩසටහන් මාලාව වෙනුවෙන් යාල Block2 හරහා ගමන් කල අපූරු චාරිකවක සුන්දර අසම්පූර්ණ මතක........
චන්ද්‍ර ජයසිංහ
SLRC