08/04/2026
රත්මලී: මහා වීරයෙකු නිර්මාණය කළ කොත්මලේ දිරිය ලිය 🌾
හෙළ ඉතිහාසයේ අසමසම වීරයා ලෙස අප අභිෂේක කරන්නේ දුටුගැමුණු මහරජුය. එතුමාගේ යුද ජයග්‍රහණ සහ මහා ස්තූප පිළිබඳව ඉතිහාසය පිරී පැවතුණ ද, ඒ මහා වීරයා නිර්මාණය වීමට පසුබිම සැකසූ "කොත්මලේ සැඟවුණු දිවිය" පිළිබඳව බොහෝ තොරතුරු පවතින්නේ ජනශ්‍රැති සහ ගැමි හදවත් තුළය.
රජ සිරි අතහැර, මාලිගාවෙන් පිටුවහල් වී සාමාන්‍ය ගැමියෙකු ලෙස කුඹුරු කෙටූ ඒ දුෂ්කර කාලයේදී, කුමාරයාට සෙවනැල්ලක් වූ අභීත ගැමි යුවතිය "රත්මලී" නොහොත් "කළු එතනාගේ" නොකී කතාව ඉසිවරයා තුළින් මෙසේ දිගහරින්නෙමි.
එය මාගම රාජධානියේ කාවන්තිස්ස රජු සහ ගැමුණු කුමරු අතර ඇති වූ මතභේදය උත්සන්න වූ සමයයි. පියාට ස්ත්‍රී ආභරණ යවා රුහුණෙන් පලා ආ කුමාරයා, තම අනන්‍යතාවය සඟවා නතර වූයේ මධ්‍යම කඳුකරයේ රමණීය කොත්මලේ නිම්නයේය. එහිදී ඔහුට රැකවරණය දුන් "උරුලෑවත්තේ" නම් ගොවි නිවසේ සිටි රූමත් දියණිය වූයේ රත්මලීයි.
"ගුත්තා" නමින් සාමාන්‍ය සේවකයෙකු ලෙස මුලින්ම කුඹුරු රකින පඹයෙකු ලෙස සේවය කළත්, රජ කුමරෙකුට පමණක් උරුම අත්ලේ රේඛා සහ තේජස දැක කුමාරයාගේ සැබෑ ස්වරූපය මුලින්ම හඳුනාගත්තේ ඇයයි. රත්මලී හුදෙක් පෙම්වතියක පමණක් නොවූ බවත්, කුමාරයාගේ හදවතේ තිබූ දැවෙන දේශප්‍රේමය හඳුනාගෙන එයට ධෛර්යය දුන් සැබෑ දිරිය කාන්තාවක වූ බවත් ජනකවිවල විස්තර වේ.
ඔවුන්ගේ ප්‍රේමය දලුලා වැඩුණේ වෙල් ඉපනැල්ලේදීය. මාලිගාවේ ප්‍රණීත භෝජන වැළඳූ කුමාරයාට, ඇය තම දෑතින්ම පිසූ ඇඹුල් තියල් සහ කුරක්කන් තලප රැගෙන එමින් ඔහුගේ වෙහෙස නිවූ අතර, කුමාරයා ද සියලු රහස් ඇය සමඟ බෙදාගත්තේ ඇය කෙරෙහි වූ දැඩි විශ්වාසය නිසාමය. කුමාරයා ලවා කුඹුරු අස්වැද්දීමටත්, ඔහුගේ මානසික පීඩනය දුරු කිරීමටත් ඇය ලබා දුන් ඒ අව්‍යාජ සෙනෙහස ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුත්තකි.
මෙම කතාව හුදෙක් ප්‍රබන්ධයක් නොවන බව තහවුරු කෙරෙන භෞතික සාධක අදටත් කොත්මලේ ප්‍රදේශයේ ශේෂව පවතී. ඉතිහාසඥයන් පෙන්වා දෙන පරිදි, ගැමුණු කුමරු සහ රත්මලී ප්‍රේමයෙන් වෙලී පෙම්බස් දෙඩූ බව කියන මස්පැන්න "රජ පිහිටි ගල" සහ ඇය කුමරුගේ වස්ත්‍ර සේදූ "මල්පෑලැස්ස" වැනි ස්ථාන අදටත් දැකගත හැකිය. එමෙන්ම කුමරු සිය කඩුව සඟවා තැබූ "කඩුවෙල" සහ ඔවුන් අස්වැද්දූ බව කියන "රාජතලාව" කුඹුරු යාය මේ කතාවට පණ දෙන ජීවමාන සාක්ෂීන්ය.
ජනප්‍රවාදයට අනුව, පියාගේ මරණයෙන් පසු නැවත රාජ්‍යත්වය භාර ගැනීමට කුමරු පිටත් වන මොහොතේදී, රත්මලී සියලු සැප සම්පත් සහ රාජකීය ආරාධනා ප්‍රතික්ෂේප කරමින් කොත්මලේම නැවතුණාය. ඇය තම ආදරයට වඩා රටේ අනාගතය සහ රජුගේ කීර්තිය වැදගත් බව තේරුම් ගත් අසිරිමත් ගැහැනියකි. ඇය තෝරාගත්තේ රජ මෙහෙසියක වීමට වඩා කොත්මලේ මීදුම් කඳු අතර ඔහුගේ මතකයන් සමඟ නිහඬව ජීවත් වීමයි.
ඇතැම් ඉතිහාසඥයන් පවසන පරිදි, දුටුගැමුණු රජුගේ එකම පුත් සාලිය කුමරුගේ මෑණියන් වන්නේ ද මෙම රත්මලී නොහොත් කළු එතනාය. සාලිය කුමරු පසුකාලීනව රාජ්‍යත්වය අතහැර "අශෝකමාලා" නම් ගැමි යුවතියක තෝරාගත්තේ, තම මවගෙන් උරුම වූ ඒ නිහතමානී, අව්‍යාජ ගතිගුණ සහ කුල භේදයෙන් තොර ආදරයේ අගය කුඩා කල සිටම හඳුනාගෙන සිටි නිසා විය හැකි බව බොහෝ දෙනාගේ මතයයි.
රජ වූ පසු ගැමුණු රජතුමා ඇයට කෘතගුණ සැලකීමට කොත්මලේට රාජකීය පණිවිඩ එවූ අතර, ඇය සිහිවනු පිණිස අද අප දකින ගැමුණුපුර රජමහා විහාරය කරවූ බව ද පැවසේ. තවද, ඇයගේ පවුලේ අයට රජතුමා විසින් "බණ්ඩාර" වැනි ගෞරවනීය පටබැඳි නාමයන් ලබා දුන් බව ජනප්‍රවාදයේ සඳහන් වේ. රාජකීය කිරුළකට වඩා ගැමි හදවතක සෙනෙහස වටිනා බව ලොවට පෙන්වූ රත්මලීගේ ඒ නිහඬ කැපවීම, අදටත් කොත්මලේ මීදුම් පටල අතර සදා අමරණීයව පවතී.
ඉසිවරයා - හෙළ මහිම
✍️දිලිප් සේනානායක
#රත්මලී #දුටුගැමුණු #කොත්මලේ #ඉතිහාසය #හෙළඋරුමය
Copied