09/07/2016
දෙයි හාමුදුරුවන් කැබිලිත්තෙන් සමුගන්නට පෙර...
වන මැද පිහිටි "කැබිලිත්ත" පුදබිම පිළිබඳව එක් මාධ්‍ය වාර්තාවක් හෝ පළ කිරීමට අපට සිත් නොදේ. ඒ අනිකක් නිසා නොව, බුරුතු පිටින් එහි ඇදෙනා අසංවර සංචාරකයන්ට එයද කැබිලිත්තට ආරාධනාවක් විය හැකි බැවිනි. ඒ නැතිව සැබෑම පරිසර හිතකාමීන්ට, යහපත් බැතිමතුන්ට කැබිලිත්ත අනුහස්‌පිරි සැබෑම සැබෑ දෙවොලකි.
කතරගම දෙවිඳුන් ජීවමානව වැඩ වාසය කරන පුදබිම බවට සලකන කැබිලිත්තට පහසුවෙන්, ලෙහෙසියෙන් ළඟාවිය නොහැක. කොයි මාර්ගයෙන් ගියත් අවම තරමින් වළ ගොඩැලි සහිත, අගල් ආරවල් පිරි වනමැදින් කිලෝමීටර් 40 - 50 ක්‌වත් "ෆෝවීල්" රථයක ගමන් ගත යුතු ඉතා දුෂ්කර කටයුත්තකි. බොහෝ විට මෙම ගමන සඳහා අවම තරමින් ජීප් රථ දෙකක්‌වත් භාවිතයට ගත යුතු අතර ඉන් එකකවත් කේබල් බල පද්ධතියකින් (වින්ච්) සමන්විත යුතුව ඇත්තේ හදිසියකදී මඩේ එරෙන අගලක හිරවන, කඳු තරණයට බාධාවන විට බාහිරවද උපකාර අත්‍යවශ්‍ය නිසාවෙනි. මේ ආකාරයෙන් අතීතයේදී කැබිලිත්ත තරණය කළ නගරයේ ඇත්තෝ දැන් බුරුතු පිටින් ට්‍රැක්‌ටරවලද නැඟී කැබිලිත්ත බලා ඇදෙති. එනිසාම පාරම්පරික පා චාරිකාවේ යෙදුනු කැබලිත්ත වන්දනාකරුවෝද බොහෝ අපහසුතාවන්ට ලක්‌ව සිටිති.
කැබිලිත්තට අද ඇති ප්‍රධානතම බාධාව දැරිය නොහැකි පරිදි බැතිමතුන් හෝ සංචාරක පිරිස් එහි පැමිණීමය. දුෂ්කරතා මධ්‍යයේ වුවද පැමිණෙන මෙම බොහෝ දෙනා කැබිලිත්ත ආශ්‍රිත ඇති ගංගාවේ දෙපස කඳවුරු බඳින අතර ඔවුන්ගෙන් පරිසරයට සිදුවන බලපෑම නම් අතිමහත්ය. විදුලි ජනක යන්ත්‍රවල සිට ආහාර පිසීම, නවාතැන් ඇතුළු කටයුතු සඳහා මෙම පිරිස් වනාන්තරයට දැරිය නොහැකි අංගෝපාංග භාවිතයට ගනිති. මෙනිසාම අද කැබිලිත්ත පුදබිම ජනාකීර්ණ ස්‌ථානයකි.
පැමිණෙන බැතිමතුන් සංචාරක පිරිස් කැබිලිත්තේ සියඹලාවේ දෙවොල පුදන්නටද අමතක නොකරති. ඒ සඳහා සුවිශේෂ වතාවත් ඉටුකළ යුතුය. සුදු ඇඳුමෙන් සැරසෙන මේ සියලු පිරිස් මුරුතැන් බත් ඉවීමේ සිට දේව පුජාව, බෝධි පුජාව යනාදී කටයුතු සඳහා සුදානම් වන්නේ කුඹුක්‌කන් ඔය දැලේදීය. මෙනිසා මෙම වියළි කාලයේදී කුඹුක්‌කන් ඔය දැල දුම්රොටුවලින් පිරීයන්නේ මුරුතැන් බත (දෙවියන් උදෙසා පිරිනැමෙන පූජාවකි) පිසිනු නිසාවෙනි. ඉන්පසු එහිම හිඳ පලතුරු සහ කැවිලි යනාදියද පූජා භාණ්‌ඩද සමඟින් සැකසෙන බෝධි පුජා හා දේව පූජාව කැබිලිත්ත බෝධිය ඔස්‌සේ කැබිලිත්ත සියඹලාව දෙවොලට වැඩම වන්නේ මහත් භක්‌තියකිනි. පසුගියදා අපි එහි තොරතුරු සොයාගිය සංචාරයකදී දක්‌නට ලැබුණේ තුන්හාර සීයයක පිරිස් මෙම පූජාවන්ට එක්‌ව සිsටි බවකි.
මෙසේ පැමිණෙන බැතිමතුන් හා සංචාරකයින් විසින් ගෙන එනු ලබන බොහෝ පරිසර දූෂක දැන් කැබිලිත්ත පුදබිමට මහා හිසරදයක් බවට පත්ව ඇත. වනමැද හුදෙකලාව පිහිටි මෙම පුදබිම දිරා නොයන දූෂකවලින් හා ආහාර ද්‍රව්‍යවලින් කිලිටිවී ඇති ආකාරය අප ඉතා හොඳින් අත්දුටු දෙයකි. හඳුන් කූරු ආවරණයේ සිට, පොලිතින් දවටන, හට්‌ටිමුට්‌ටි, මැටි පහන්, බුදු පිළිම සුන්බුන්, දේව ප්‍රතිමා, බාරහාර උපකරණ යනාදී මෙකී නොකී බොහෝ දේවලින් දූෂිත කැබිලිත්ත පාලනය කිරීම ඉතා අපහසු කටයුත්තක් බවට පත්ව ඇත්තේ අසංවර පුද්ගලයින් නිසා බව කැබිලිත්තේ යාබද හමුදා කඳවුරේ නිලධාරීහු අප සමඟ පැවසූහ. තමන් ගෙන ආ දේවල් නැවත රැගෙන යන ලෙස තමන් කොතෙක් ඔවුන්ට දැනුම් දුන්නත්, බල කළත් ඇතැම් පිරිස් ඒ පිළිබඳවද තැකීමක් නොකරන බවද නිලධාරීහු පවසති.
කුඹුක්‌කන් ඔය දිගේ ඇවිද ගිය අපට දක්‌නට ලැබුණේ තැඹිලි කෝම්බ, වට්‌ටි, පෙට්‌ටි, පොලිතින් දවටන, හිස් ප්ලාස්‌ටික් වතුර බෝතල්, ඉටිකවර, ආහාර දවටන යනාදී නොයෙකුත් දේ තමන් මුරුතැන් බත් උයා දේව පූජාව සකස් කළ ස්‌ථානවල ගොඩගසා ගොස් ඇති බවකි. අපගේ නඩයේ ඇතැම් අය මෙම අශෝභන කටයුතු නොකරන ලෙස ඇතැම් නඩවලින් ඉල්ලා සිටි අවස්‌ථාවේදී ඇතැම් අය ඊට කන්දී කටයුතු කරනුද තවත් උදවිය ඊට අනුගත නොවනුද අපට දැකගත හැකිවිය. අපගේ නඩය නියෝජනය කළ ප්‍රවීණ ඡායාරූප ශිල්පී කේ. ජී. කීර්තිරත්න මහතා කල්තියාම කැබිලිත්තේ ශ්‍රමදානයකට සූදානම්ව කොළඹින්ම ඊට අදාළ බැහැරලන මලු රැගෙන ආවේය. ඉන්පසු අපගේ දේව පූජාවෙන් පසු අප ඉටුකළ ප්‍රධාන කාර්යය වූයේ කැබිලිත්ත පුදබිමේ ශ්‍රමදානයයි. අප සතු බැහැරලන මලු තවත් තරුණ කණ්‌ඩායම්වලට ලබාදුන් ඡායාරූප ශිල්පී ලක්‍ෂ්මන්, ප්‍රියන්ත, වාසල, යනාදීන් මෙන්ම සමන්ත, රජිත, යන අයද කැබිලිත්තේ කළ මහා විශාලම පිංකම බවට පත්වූයේ එහි කුණු කසළ එකතු කිරීමය. මේ අනුවු මහ සියඹලාව භූමිය මෙන්ම කුඩා සියඹලාව (දෙවොල) අවටද සුද්ධ පවිත්‍ර කළ අය ඇතුළු කණ්‌ඩායම කසළ මලු තොගයක්‌ම යළිත් වනාන්තරයෙන් එළියට රැගෙන ආවේය. ඊට දින කිහිපයකට ඉහතදී කැබිලිත්තට ගිය තවත් අපගේ හිතවතකුගේ සහෝදරයකු ට්‍රැක්‌ටරයක් පුරවාගෙන කසළ ආපසු රැගෙන ගිය බවද ඔහු අප සමඟ පැවසුවේය. එක් සතියකදී එහි පැමිණ තිබූ ට්‍රැක්‌ටර් සංඛ්‍යාව 46 කි. ඊට අමතරව තවත් ජීප් රථ, කැබ්රථ හා සිවුබල වාහන ගණනාවක්‌ද එහි විය.
කැබිලිත්තට පිරිස් පැමිණෙන කාලයක් ඇති බව සැබෑවකි. එම කාලයේදී පාලනයකින් තොරව පිරිස් පැමිණෙන බවද සැබෑවකි. එහෙත් ඊට නීති දැමිය නොහැකිය. දැමීමද සදාචාර සම්පන්න නැත. නමුත් පැමිණෙන පිරිස්‌වලට සුවිශාල වගකීමක් පැවරේ. එනම්, තමන් පැමිණෙන මෙම භූමිය ශුද්ධ භූමියක් බවත්, වනාන්තර ගහකොළ, ඇළ දොළ පිරි සුන්දර පරිසර නිකේතනයක් බවත් හතර වටින්ම ඇත්තේ ජාතික වනඋයන් හා රක්‍ෂිත වනාන්තරවලින් පිරි ගෞරවාන්විත වනගහනයක් බවත් තේරුම් ගැනීමය. මෙහි ගිනි කූරක් දැල්වීමත් වනාන්තරයට හානියක් නම්, තමන් රැගෙන එන දූෂක දමා යැම මොන තරම් වරදක් හා පාපයක්‌ද, බොහෝවිට මෙම දූෂක මගින් වන සතුන් මිය යන අවස්‌ථාද ඇත. හොඳම නිදසුන වන්නේ කැබිලිත්ත පුදබිම ආශ්‍රිතව වාසය කරන හස්‌තීන් තිදෙනාය. කැබිලිත්තට පැමිණෙන ඇතැම් අයට කැබිලිත්තට දේව පූජා තියන්නට මෙහි එක් හස්‌තියකු ඉඩදෙන්නේම නැත. ඒ වෙනම කතාවකි. ඊට හේතුව පිරිසිදු ලෙස හා පිරිසිදු ෙච්තනාවෙන් මේ වනාන්තරයට ඇතුළුවීමට නොහැකි නිසාවෙන්ලු. ඒ කෙසේ වෙතද කැබිලිත්ත පුදබිම අවට සැරිසරන මේ ඇතුන්ගේ මළපහ පිළිබඳව අප කළ සොයා බැලීම්වලදී දැකගන්නට ලැබුණේ ඒවායේ බොහෝ සෙයින් පොලිතින් හා සිලිසිලි බෑග් කොටස් අඩංගුව තිබු බවකි. එනම්, දේව පූජාවන්ට රැගෙන එන පලතුරු, ආහාර යනාදිය තැන තැන දමා යැමේදී අලින් විසින් එම ආහාර පොලිතින් පිටින්ම ගිල දැමීම හේතුවෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගතව තිබේ. ඇතැම් හස්‌තීන් අවට කුණු බක්‌කි අවුස්‌සන ආකාරයද ප්‍රියජනක තත්ත්වයක් නොවිනි. නමුත් කැබිලිත්තේ ආරක්‍ෂාව භාරව සිටින සිංහ රෙජිමේන්තුවේ පිරිස් කැළ මෙම සියලු උපද්‍රව අවම කර වනසතුන්ටද පැමිණෙන බැතිමතුන්ටද තම උපරිම සත්කාරය පිරිනමනු අප ද අත්වින්ඳෙමු.
එසේම කැබිලිත්තට පැමිණෙන සැවොම සැබෑ බැතිමත්හු නොවෙති. ඇතැමුන් මෙහි පැමිණෙන්නේ තවත් ජංගල් සෆාරිකරුවන් පිරිස් ලෙසිනි.
කාබී විනෝදවීම ඔවුන්ගේ පළමු අවශ්‍යතාවයි. කැබිලිත්තට පාරිසරික හා සමාජයික බලපෑම බොහෝ ලෙස සිදුවන්නේ මෙවන් පිරිස් මගිනි. එසේම ඇතැම් නඩවල පැමිණෙන කාන්තාවන් මෙම පුදබිමට නිසි ගරුසරුවක් නොදක්‌වා කටයුතු කිරීමද, හොර කපුවන් නිසාද කැබිලිත්ත අශෝභන වී තිබේ. ඒ නැතිව සැබෑ බැතිමතුන්ගේ සාදුකාර නදින් හා සීනු නදින් භක්‌තියෙන් පුද ලබන මෙම පුදබිම හා එහි ගහ කොළ සැබෑම සුවයක පහස ලබනු දැනේ.
එහෙයින් අද කැබිලිත්තට අවශ්‍යව ඇත්තේ අනවශ්‍ය සංචාරකයින් කැඳවන මාධ්‍ය ප්‍රචාර නතරවීම පමණක් නොවේ. එන පිරිස් විසින් රැගෙන එන සියලු දූෂක ආපසු රැගෙන යන ලෙසද අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය හා දූෂක මෙහි රැගෙන නොඑන ලෙසද කරනු ලබන ඉල්ලීමයි. එසේම සංවරව මෙහි හැසිරීමද කැබිලිත්ත සැබෑම වනයේ දෙවොලක් සේ ආරක්‍ෂා කරන ලෙසද කරන ඉල්ලීමයි. එසේ වුවහොත් කැබිලිත්ත තවත් කලක් විරාජමානව වැජඹෙනු ඇත. නොඑසේ නම් කැබිලිත්ත දෙයිහාමුදුරුවන්ගේ ස්‌පර්ශයෙන් ව්‍යqක්‌තවනු ඇති බවට දැනටමත් එහි මහපොළොව සාක්‍ෂි දරනු පෙනේ.