01/05/2023
Hyvää vappua! (Good May Day!)
Mahtavaa vappua! ( Magnificient May Day!)
Hauskaa vappua! (Fun May Day!)
Iloista vappua! (Merry May Day!)
මේ ආදී විවිධ සුබ පැතුම් ගෙන එන්නේ ෆින්ලන්තයේ මැයි දින සැමරුම වෙනුවෙන්. ' වප්පු - Vappu ' යනු මැයි දිනය හැඳින්වීමට ෆින්ලන්ත භාෂාවේ භාවිත වචනයයි.
ෆින්ලන්ත වැසියන් අති උත්කර්ෂවත්ව සමරන උත්සව අතුරෙන් මැයි දිනයට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයක්. එය කානිවල් එකක් ලෙස ඇතැම් ෆින්ලන්ත වැසියන් හඳුන්වනවා. අපේ රටේ මෙන් දේශපාලන පක්ෂ විසින් හයිජැක් නොකෙරූ ෆින්ලන්ත මැයි දිනය සැබැවින්ම ජනතාවගේ දිනයක් ලෙසින් සැමරෙනවා.
ෆින්ලන්ත වැසියන් , ස්ප්‍රින්ග් හෙවත් වසන්තයේ ආගමනය සැමරීමටත් මැයි දිනය අවස්ථාවක් කරගන්නවා. අප්‍රේල් මාසයේ අවසන් දිනයේ සිටයි බහුතර සැමරුම් ආරම්භ වන්නේ. අප්‍රේල් අවසන් දිනය , එනම් මැයි දින උදාව ' vappuaatto - වප්පු ආත්තෝ ' ලෙස හඳුන්වනවා. 'vappupäivä- වප්පු පැයිවැ ' ලෙස මැයි 1 වැනි දා හඳුන්වනවා.
වප්පු හෙවත් මැයි දින සැමරුම ඉතාම සරුසාර ආකාරයෙන් සමරන්නේ ෆින්ලන්තයේ උසස් පාසල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවයි..අප්‍රේල් මැද භාගයේ සිට ඔවුන්ගේ මැයි දින සැමරුම් ආරම්භ වනවා. මෙම කාලයට කණ්ඩායම් වශයෙන් කා, බී, විනොදවෙමින් ගමන් ගන්නා සිසුන් අතිශය සුලබ ලෙස නගරාශ්‍රිතව දැකගත හැකියි. ඔවුන්ගේ පාසලට/විශ්වවිද්‍යාලයට හෝ තමන් අයත් පිඨයට විශේෂයෙන්ම නිර්මාණය කල ඕවරෝල් ඇඳුමකින් සැරසෙනවා. එම ඇඳුම විධාකාර ලාංචන, පළඳනා, වර්ණවත් ටැග්ස් ආදියෙන් සමන්විත වෙනවා. එමෙන්ම ඔවුන් සුදු සහ කළු පැහැති graduation cap( ylioppilashattu) පළඳිනවා. ඔවුන් නිරන්තර සාද පවත්වන බව ඇඟවෙන්නේ එම ඇඳුමේ සුදානම් පිට එල්ලාගෙන ඇති Champagne glass මගින්.
ෆින්ලන්ත සිසුන් සේම ඇතැම් වැසියන් විවිධාකාර වර්ණ සහ විලාසිතා වලින් යුතු ඇඳුම් වලින් සැරසී මැයි දින සැමරුම් සිදු කරනවා. වර්ණ ගැන්වූ කෘතීම හිසකෙස් පැළඳ, චියර්ලීඩර් පොම්පොම්ස් සහ ෂම්පෙන් / ස්පාර්ක්ලින් වයින් හෝ බියර් අතැතිව ඔවුන් නගරයේ සැරිසරනවා..සාද පවත්වනවා.. කුඩා දරුවන් සහ වැඩිහිටියන් විවිධ වර්ණයන්ගෙන් යුතු බැලුන් අතැතිව ගමන් ගන්නේ මැයි දින අසිරිය දෙස් විදෙස් සැමට ගෙන දෙමින්. විවිධ නගරවල මැයි දිනය වෙනුවෙන් විශේෂිත කඩමන්ඩි සංවිධාන කෙරෙනවා.. ඇඳුම් පැළඳුම්,ආහාර, ,රසකැවිලි, මල් වර්ග ආදී භාණ්ඩ එහිදී මිලට ගත හැකියි. විනෝද ක්‍රීඩා සහිත කුඩා කානිවල් පාක් ද මෙම කඩමන්ඩි තුල දැක ගත හැකි වෙනවා.
මැයි දින උදාව සමරමින් හෙල්සින්කි ,තම්පෙරේ, තුර්කු ඇතුළු නගර රැසක උත්සව,සාද පැවැත්වෙනවා. මේ අතරින් දැවැන්තම සැමරීම සිදුවන්නේ, අප්‍රේල් අවසන් දින හවස්භාගයේ හෙල්සින්කි නුවර Havis Amanda පිළිරුව අසලදී. එය Mantan Lakitus ලෙස හැඳින්වෙනවා..එය සංවිධාන කරන්නේ විශ්වවිද්‍යාල සිසුන් විසින්. විශාල ක්‍රේනයක අධාරයෙන්, එහි එල්ලී සිටින සිසුන් කණ්ඩායමක් විසින් Havis Amanda පිළිරුව සෝදා පිරිසිදු කර , එයට graduation cap එකක් පැලඳවීම මෙහිදී සිදු කෙරෙනවා. එය සම්ප්‍රදායිකව පැවත එන්නක්. ඊට සමගාමිව සංගීත ප්‍රසංගයක්ද පැවැත්වෙනවා.. හෙල්සින්කි නගරය වැසී යන තරමේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙම උත්සවයේදී දැකගත හැකි යි.
මැයි දිනය දා ෆින්ලන්ත වැසියන් උත්කර්ෂවත් සාද පවත්වන්නේ සිය නෑදෑ හිත මිතුරන්ද එක්කර ගනිමින්. නගරාශ්‍රිත උද්‍යාන වැසියන්ගෙන් පිරි යනවා.. Picnic Camping මෙදිනට බොහොම ජනප්‍රියයි. හෙල්සින්කි නුවර Kaivopuisto යනු මැයි දිනයට අතුරු සිදුරු නොමැතිව ජනයාගෙන් පිරී යන උද්‍යානයක්.
මැයි දිනය අපගේ රටවල් වල දේශපාලනික දිනයක් වුවත් ෆින්ලන්තයේ එවැනි හැඟීමක් ඇතිවන කිසිදු ආකාරයේ සිදුවීමක් නොවේ. අතීතයේ වාමාංශික පක්ෂ එය සැමරු බවට ෆින්ලන්ත ඉතිහාසයේ සඳහන්ව ඇතත්, වර්තමානයේ කුඩා පා ගමන් හෝ දේශපාලන පක්ෂ සාමාජික සංවාද හෝ කතිකා වලින් ඔබ්බට දෙයක් සිදුවෙන බවක් දක්නට නොලැබේ.
ෆින්ලන්ත වැසියන් මැයි දිනය අරුත් ගන්වමින් සුවිශේෂී ආහාර පාන භාවිත කරනවා. වප්පු මුන්කි - vappu munkki , වප්පු මුන්කිරින්කිලැත් - vappu munkkirinkilat (මැයි දින ඩොනට්ස් ) , තිප්පලෙයිපැ - tippaleipä ( a special funnel cake) සහ සිමා යන පානය මැයි දින සැමරුමේදී අතිශය ජනප්‍රිය,සම්ප්‍රදායික ආහාර පාන ලෙස හඳුන්වන්න පුළුවන්
මේ සම්බන්ධ වීඩියෝව නැරඹීමට පහත ලින්ක් එකෙන් Travelbum • By Ranjana Thanthrige යුටියුබ් චැනලයට පිවිසෙන්න.
වීඩියෝ ව 👇👇
https://youtu.be/o3bkgvsI-w4
Ⓒ Travelbum • Ranjana Thanthrige