25/01/2025
සුජීව කියල මල්ලි කෙනෙක් facebook එකේ දාපු මේ සටහන කිහිප වතාවක් මම දැක්ක. ගොඩක් අය මේ සටහනේ තිබ්බ දේවල් සමග එකඟ වෙලා තිබ්බ විතරක් නෙවෙයි, ඒක share කරලත් තිබ්බ. සුජීව කියන්නේ කවුද කියල මම දන්නේ නැහැ. එයා ලංකාව ගැන කැක්කුමක් තියෙන කෙනෙක් බව පේනවා. ඒක හොඳ දෙයක්. නමුත් සුජීව මල්ලිගේ මේ සටහනේ තියෙන්නේ ලාමක අදහස්. නමුත් මම පුදුම උනේ, මේ සටහනේ තියෙන ඒ ලාමක අදහස් අනුමත කරන සෑහෙන ජනතාවක් ලංකාවේ ඉන්නවා කියන එකයි. මමත් ලෝකේ ගැන හොඳට දන්න සංචාරකයෙක්. ඍජුව සංචාරක ව්‍යාපාරයේ වැඩ කලේ නැතුවා උනත්, මමත් ලංකාවට සංචාරකයෝ ගෙනෙන්න උදවු කරන්නෙක්. කොහොම උනත්, සුජීව මල්ලිගේ අදහස් ලාමකයි කියල මම කියන්නේ ඇයි කියල මම එයාගේ පොයින්ට්ස් එකින් එකට යන්නම්.
බුද්ධිමත් රටවල් tourism කරන්නේ මෙහෙමයි.
01). ඔයා කවදාහරි ඇමරිකාවට හරි යුරෝපයට හරි visit එකකට යන්න try කරලා තියෙනවා ද?
මහත්වරුනි අපේ ගෙවල් වල ඉඩම් ඔප්පුත් අරගෙන ගිහින් පෙන්වන්න ඕනි "අපට travel කරන්න සල්ලි තියෙනවා දෙවියනේ.." කියලා prove කරන්න.
එහෙම පෙන්නුවත් අපේ රටේ හැම තුන් දෙනකුගෙන් ම දෙන්නෙක් ගේ visa rejected.
එච්චර තෝරලා තමයි අපිව වෙන රටක් ඇතුලට වද්දා ගන්නෙත්.
(සුජීවට පිළිතුර ) ලංකාවෙන් පිට රටකට සංචාරයට කියල යන්නේ බොහොම ටික දෙනෙක් විතරයි. ලංකාවෙන් පිටට යන අයගෙන් 99.99% ක් වත් යන්නේ, පිට රටකින් යැපෙන්න මිසක්, ඒ රටවලට ලංකාවේ මුදල් ගෙනියන්න නෙවයි. ඉතිං පිටරටවල ඉඳන් ලංකාවට එන සංචාරකයන්, පිටරටවල සංචාරය කරන්න යන ලාංකිකයන් එක්ක සසඳන්න බැහැ. ඉතිං ලාංකිකයන්ට වෙන රටවල් වලින් වීස ගන්න අමාරුවෙන්න හේතුව, බහුතරයක් ලාංකිකයන් රටින් පනින්න යන අය නිසයි.
02). අපේ මේ ලස්සන දූපතට එන්න ඒ මොනවත් ඕනා නෑ. තුන් ලෝකයේ ම ඉන්න අතේ සතේ නැති si #ගන්නෝ ඔක්කොම ටික දැන් මේකේ පිරිලා.
3WL එකක යන්න, කඩෙන් රුපියල් 500ක කෑම එකක් ගන්න වත් මෙයාලා ළඟ සල්ලි නෑ.
එයාලා මෙහේ ඇවිත් business කරනවා කීයක් හරි හොයාගන්න.
(සුජීවට පිළිතුර ) සුජීවගේ මේ පොඉන්ට් එකේ යම් සත්‍යතාවයක් ඇති. අදාළ වීස නැතිව ලංකාවට ඇවිල්ල එහෙම නීති විරෝධී ලෙස බිස්නස් කරන එක නවත්තන්න, පොලිසියේ සහ බලධාරීන්ගේ කටයුත්තක්. ඒවා අනිවාර්යයෙන්ම නැවැත්විය යුතුයි. නමුත් ත්‍රී වීල් එකක යන්න සල්ලි නැති, රු. 500ක් දීලා කෑම එකක් ගන්න බැරි පිටරට සංචාරකයෝ මම තවම දැකලා නැහැ. ඒ විදිහට සල්ලි නැතිව සංචාරය කරලා අමුතු අත්දැකීමක් ලබාගන්න හදන දෙන්නෙක් තුන්දෙනෙක් අස්සක මුල්ලක ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ දෙතුන් දෙනෙක් හිටියා කියල, 99%ක් ලංකාවට එන අනිත් සංචාරකයන්ට අගෞරවයක් වෙන විදිහට ජන මතයක් ගොඩ නගන්න හදන එකෙන් සුජීව මල්ලි කරන්නේ ලොකු වැරැද්දක්.
03). අපි යුරෝපයට ගිහිල්ලා මාර්ග නීතියක් කැඩුවොත් අපිව හුරතල් කරනවා ද, "අනේ මෙයා visitor කෙනෙක්.. අනේ පවු අනේ හරි ඌර්තල් මෙයා.." කියලා?
නෑ මහත්වරුනි, අපේ ගෙවල් දොරවල් උකස් තියන්න වෙන rates වලින් දඩ ගහන්නේ ඉතාම සුළු වරදකට පවා.
(සුජීවට පිළිතුර ) සුජීවගේ මේ පොඉන්ට් එක එයාගේ 4 වැනි පොඉන්ට් එකට එකතු විය යුතු නිසා, මේක පොඉන්ට් එකක් නෙවෙයි.
04). මේ රටට ඇවිත් වාහන / bike rent කරගෙන පදින visitors ලා, අපේ රටේ සාමාන්‍ය නීතිය / මාර්ග නීතිය සත පහකට ගණන් ගන්නේ නෑ.
අපේ ආර #ක්ෂක අංශ වල මහත්වරුත්, මෙයාලව හුරතල් කර කර ඉන්නවා මිසක, මේ වල් නිදහස පාලනය කරන්නේ නෑ.
ඇත්තටම මොකක්ද මේ විහිළුවේ තේරුම? මේ රට දැන් නිල වශයෙන් visitors ලාගේ තිප්පොලක් ද?
(සුජීවට පිළිතුර ) මාර්ග නීති කැඩීම, මාර්ග නීති ගැන අවම අවබෝදයකින් වාහන පැදීම සිද්දවෙන්නේ ලාංකිකයන් අතින්. නීති කැඩීම කෙසේ වෙතත්, වාහනයක් පදිද්දී විනීත කම කියන දේ අඩුවෙන්ම දකින්න පුළුවන් රටක් තමයි ලංකාව කියන්නේ. (මොටර්සයිකලයකින් ලෝකේ වටේ රටවල් 130කට වඩා සංචාරකය කල කෙනෙක් හැටියට මම මේ කියන්නේ) ඉතිං විනයක් නැති රටක පිටරට කෙනෙක් (ලංකාවෙ) වාහනයක් පදිනකොට, ගොඩක් වෙලාවට ඒ ගොල්ලෝ ඉබේම අර විනයක් නැති රටේ රටාවට හුරුවෙන්න පුළුවන්. නමුත් අති බහුතරයක් බටහිර රටවල මිනිසුන්, නීතිය පිළිපදිනවා. කොහොම උනත්, කෙනෙක් දෙන්නෙක් මාර්ග නීති උල්ලංගනය කරනවා කියල, ලංකාවට ඇවිත් වාහනයක් පදින පිටරට සංචාරකයෝ, එක බුරුත්තට දමල හංවඩු ගහන එක වැරදියි.
05). මහත්වරුනි මේක අපේ රට. මේ ලස්සන මුහුදු වෙරළවල්, මේ ලස්සන කෝච්චි පාරවල් අපේ.
ලෝකයම migration / සංචාරකයෝ එපා කියන යුගයක අපි විතරක් අපේ සම්පත් මෙහෙම සිල්ලරේට දන් දෙන්න ඕනි නෑ.
(සුජීවට පිළිතුර ) මුහුදු වෙලර? කෝච්චි පාර? දන් දීමක් කොහේද සිදුවෙන්නේ? සුජීවගේ පොඉන්ට් එක පැහැදිලි මදි!
06). මේක තවත් එක බාලි දූපතක් වෙන්න දෙන්න එපා.
සංචරණය බාරව ඉන්න ර #ජයේ මහත්වරුනි, අවුරුද්දකට එන ඔළුගෙඩි ගණන වෙනුවට, අඩුම ඔළුගෙඩි ගණනකින් "වැඩිම මුදලක්" උපයන high-end සංචරණ යාන්ත්‍රණයක් හදාගන්න උත්සාහ කරන්න.
ලෝකයේ බුද්ධිමත් රටවල් tourism වලින් හම්බ කරන්නේ එහෙමයි.
(සුජීවට පිළිතුර ) high-end tourism එක හදන එක ලේසි දෙයක් නෙවෙයි. සුද්දෝ ගෙනල්ල high-end කියල උන්ව සුද්ද කරන්න නම්, ඒවාට අදාළ සුපිරි පහසුකම් තියෙන්න ඕන. සල්ලි තියෙන සුද්දෝ මොලේ නැති උන් නෙවෙයි. පිට රටකට පයක් නොතියා, ලෝකේ උතුම්ම රට මේකයි කියල අඬ බෙර ගැහුවට, ලස්සන අත්දැකීම් ගන්න පුළුවන් රටවල් ගොඩක් ලෝකේ තියෙනවා. high-end tourism කියල ලංකාවට සුද්දෝ ටික දෙනෙක් විතරක් ගෙනල්ල, උන්ව Benz වල BMW වල දාගෙන තැන් කිහිපයකට විතරක් ගෙනිහිල්ල උන් ටික ගෙදර යැව්වම, පුංචි හෝටල් දාගෙන, පුංචි රෙස්ටුරන්ට් දාගෙන යැපෙන එවුන්, එතකොට අගු පිලක අත්කමක් කරලා ඒවා කීයකට හරි විකුණලා පවුල නඩත්තු කරන එවුන්, ත්‍රී වීල් එකක් තියාගෙන සුද්දෝ එහෙට මෙහෙට ගෙනියල රුපියල් සීයක්වත් වැඩිපුර හොයාගන්න එවුන්ට කොස් හිටවල තමයි ජීවිතය ගෙනියන්න සිද්ධ වෙන්නේ.
වියදම් කරන්න අතේ මිටේ ගොඩක් සල්ලි නැති, හුඟක් travel කරන අය students ලා. ඒ ගොඩ දෙනෙක්, ලංකාවට ඇවිත්, ලංකාවේ මිනිස්සුන්ගේ හොඳකම්, හිතවත්කම් ආගන්තුක සත්කාර ගැන උන්ගේ රටවල් වලට ගිහින් කිව්වම, අතේ මිටේ සල්ලි තියෙන ගොඩක් අය මේ රටට ඒවි. අන්න ඒකයි දීර්ග සැලසුමක් විය යුත්තේ. නමුත් වෙළඳ පොළේදී මොනවා හරි දෙයකට සුද්දෙක් දෙන්නෙක් කේවල් කල පලියට, මුළු සංචාරකයෝ සංහතියම එක ගොඩකට ඇද දාන්න හදල, පිටරැටියන් ගැන වැරදි ජනමතයක් ගොඩ නගන්න හදන එක, මම එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා. සුජීව ගේ profile එකේ ලතින් වැකියක් තියෙනවා Vox Sujeeva vox Dei කියල. ඒකෙ තේරුම "සුජීවගේ වචනය දේව වචනයයි" කියල. ඒක එයා විහිළුවට වගේ දාන්න ඇති. කොහොම උනත්, වැරදි ජනමතයක් ගොඩ නගන එකට මම විරුද්දයි.
මම මේක ලියුවේ කාටවත් පහරක් ගහන්නවත්, මම වැඩ කාරයෙක් වෙන්නත් නෙවෙයි. අපි නොහිතන පැත්තක් ගැන පෙන්නලා දෙන්න විතරයි.
ඔබ සියලුදෙනාටම සුභ දවසක්!