10/07/2026
ක්රිස්ටියානෝ රොනාල්ඩෝ නම් තරුවගේ නික්ම යාම!
එතෙක් මෙතෙක් පාපන්දු ඉතිහාසයේ බිහි වුණ විශිෂ්ටතම ක්රීඩකයන් අතලොස්සෙන් අයෙක් වන, පාපන්දු ඉතිහාසයේ කවදාවත් නොමැකෙන නමක් තියපු පෘතුගාලයේ ක්රිස්ටියානෝ රොනාල්ඩෝට අද ලෝක කුසලානයක් නොමැතිවම පාපන්දු පිටියෙන් බැහැලා යන්න සිද්ධ වෙනවා.
ක්රිස්ටියානෝ මුළින්ම පෘතුගාලය වෙනුවෙන් ලෝක කුසලානයක් ක්රීඩා කළේ 2006 දී. එතැන ඉඳලා 2026 වෙනකන් ලෝක කුසලාන තරගාවලි 6 කදී පෘතුගාලය නියෝජනය කළා.
අද 2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 වටයේ තරගයේදී ක්රිස්ටියානෝ රොනාල්ඩෝ ප්රමුඛ පෘතුගාලය, ස්පාඤ්ඤය හමුවේ 1-0 ක් විදිහට පරාජයට පත් වුණා.
මේ පරාජයත් එක්ක තවදුරටත් 2026 ලෝක කුසලාන තරගාවලිය ගැන බලාපොරොත්තු තියාගන්න ඔවුන්ට හැකියාවක් නෑ.
41 හැවිරිදි ක්රිස්ටියානෝ පෘතුගාලය වෙනුවෙන් 2030 ලෝක කුසලානය ක්රීඩා කරයි කියලා හිතන්න බෑ. ඔහු තමන් ලෝක කුසලානයෙන් පස්සේ ජාත්යන්තර පාපන්දුවෙන් විශ්රාම යන බවත් ප්රකාශ කළා.
මේ නිසාම ක්රිස්ටියානෝ රොනාල්ඩෝ අද පෘතුගාලය වෙනුවෙන් මේ ක්රීඩා කළේ තමන්ගේ අවසන් ජාත්යන්තර තරගය බවට බොහෝ දුරට කියන්නට පුළුවන්.
රොනාල්ඩෝ පෘතුගාලය වෙනුවෙන් තරග 233 ක් ක්රීඩා කළා. මේ තරග 233 තුළ ඔහු වාර්තා කරගෙන තියෙන ජාත්යන්තර ගෝල සංඛ්යාව 146 ක්.
ජාත්යන්තර පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා වගේම වැඩිම තරග ගණනක් ක්රීඩා කරපු ක්රීඩකයා වාර්තාව ලියැවෙන්නත් ක්රිස්ටියානෝ නමින්ම තමයි. නමුත් ඔහුට ජාත්යන්තර පාපන්දුවෙන් නික්ම යන්න සිද්ධ වෙන්නේ විශාල අඩුපාඩු දෙකක් එක්ක.
පාපන්දු ලෝක කුසලානය ආරම්භ කරද්දිත් අපි ඒ ගැන කතා කළා. ඒ තමයි ක්රිස්ටියානෝ රොනාල්ඩෝට පාපන්දු ලෝක කුසලානයක් වගේම ජාත්යන්තර පාපන්දු තරගාවලියක දක්ෂතම ක්රීඩකයා සම්මානය හිමි වෙලා නෑ. මේක තමයි ඔහුට ඒ අඩුපාඩු දෙකම සම්පූර්ණ කරන්න ලැබුණ අවසන් අවස්ථාව.
නමුත් ක්රිස්ටියනෝට නැවතත් පෘතුගාලය බලා යන්න සිද්ධ වෙන්නේ අවාසනාවන්ත විදිහට හිස් අතින්, බලාපොරොත්තු කඩ කරගනිමින්.
ක්රිස්ටියානෝ 2006 ඉඳලා මේ වෙනකන් පෘතුගාලය වෙනුවෙන් පාපන්දු ලෝක කුසලාන තරගාවලි 6 ක් ක්රීඩා කළා. ලෝක කුසලාන තරගාවලි 6 ක ගෝල ලබා ගත්ත එකම ක්රීඩකයා වෙන්නෙත් ඔහුමයි.
පෘතුගාලය වෙනුවෙන් වැඩිම පාපන්දු ලෝක කුසලාන ගෝල ලාභියා වාර්තාව උසුලන ක්රිස්ටියානෝ ලෝක කුසලාන වලදී ගෝල 11 ක් ලබා ගැනීමට සමත් වුණා.
එම ගෝල 11 ට මූලික වටයේදී වාර්තා වූ ගෝල 10 ක් සහ පිළිමළුන් පිටු දැකීමේ වටයේ වාර්තා වූ 1 ක් ගෝලයක් ඇතුළත්. එමෙන්ම ඔහුගේ දත්ත වාර්තා ඉදිරියේ ගෝල ලබා ගැනීමට සහාය වීම් දෙකක් ද වාර්තා වී තිබෙනවා.
මේ සියලුම දේ සමගින් ක්රිස්ටියානෝ රොනාල්ඩෝ වයස අවුරුදු 41 ක් වනතුරු පාපන්දු ලෝක කුසලානයක් ජය ගැනීම වෙනුවෙන් පෘතුගාලය සමග ක්රීඩා කරන්නට උත්සාහ කළා. නමුත් අවාසනාව සෑම අවස්ථාවකදීම ඔහුට හරහට හිටියා.
ක්රිස්ටියානෝ පෘතුගාලය සමගින් එක් යුරෝ ශූරතාවයක් සහ නේෂන්ස් ලීග් තරගාවලියක් ජයග්රහණය කිරීමට සමත් වුණා. නමුත් ඔහුට පාපන්දු පිටියෙන් බැස යන්නට සිදු වන්නේ පාපන්දු ක්රීඩකයෙක්ට ජයග්රහණය කළ හැකි විශිෂ්ටතම ශූරතාවය වන පාපන්දු ලෝක කුසලානයක් නොමැතිවයි.
ක්රිස්ටියානෝ කළ කී දෑ ඕනෑ තරම් තිබුණත් මෙය ඔහුගේ ක්රීඩා ජීවිතයේ ලැබිය යුතුම නොලැබුණ ජයග්රහණය ලෙසින් හැමදාම සටහන් වෙලා තියේවි.
Coverage Powered By :- Rexona