22/09/2024
උස මහත සුදු තලෙලු විතරද පොරොන්දන්
විස්සකුත් බැලුවා
ගලපලා ගලපලා අවසන හොඳම නැකතට
පොතේ ලිව්වා
පෝරුවෙත් පේවෙලා මංගල සභාවෙදි
නැති හොඳත් කිව්වා
දවස් ගානක් මඟුල් කාලා ලස්සනට
පිංතූරෙ ගැහුවා
දවස් දෙකතුනකට වරක් නොවරදවාම
වීදුරුව පිහුවා
කලු කූඹි කාවෝ කෑවොතින්
අනෙක්පස ඉඳ හිටල බැලුවා
කලක් යනකොට මාරු කර කර
මැද සාලෙ හැම තැනම තිවුවා
බිඳී කියලා අතට අරගෙන
බලන අයටත් හොරෙන් රැව්වා
ටික කලක් ගතවෙද්දි දරුවන්
දෙක තුනක් පිට පිටම ආවා
පිංතූරෙ තියෙනවද කියලාවත්
බලන්නට කලක් නැතුවා
ඒත් ළමයිනි ගේ ඇතුලෙ නම්
දඟලන්න හෙම එපා කිව්වා
එපා කියනා දෙයම කරනා
දෙවෙනි කොලු පිංතූරෙ කැඩුවා
රූපෙ අරගෙන ඇදුම් පෙට්ටියෙ
අඩියෙ හංගා කලක් තිවුවා
රෙදි වලින් යටවෙලා පොඩිවී
කොන්හතර උඩ අතට නැවුනා
ළමයි ඉඳහිට ගෙදර ආවම
මතක්වී එය කොහිද ඇහුවා
එදා වාගෙම ආදරෙන් ගෙන
පෙන්නලා යලි අරන් තිවුවා
මහගෙදර පාලුවට හැරුණ
අම්ම කලින්ම දෑස් පිවුවා
තාත්තා විතරයි ගෙදර
දුක් කඳුලු අතරින් දවස් ගෙවුවා
වැඩි කලක් ගියෙ නැතුව උන්දැත්
මලා හත්දොහෙ බණත් කිවුවා
ගෙදර ඉන්නට කෙනෙක් නැති තැන
ගෙයට විකුණුම් කරය ලිවුවා
තම තමාහට ඇවසි දේවල්
ළමයි අහුලලා අරන් තිවුවා
වැඩක් නැති හැමදේම අතුගා
පුලුස්සන්නට වීසි කෙරුවා
ඇති වීම නැති වීම පොදු දහමකි
ලොවේ හට ගොඩක් එව්වා
ලොවේ අනියත දහම වටහා
ගන්න හොඳ නිදසුන්ය මෙව්වා
උපුටා ගැනිමකි ❤️🙏