24/07/2026
මගේ හුස්ම වන් වූ චූටි පුතු වෙත ලියමි....🩵
මීට හරියටම මාස 4කට කලින් ඔයාව මුල්ම වතාවට දකිනකොට, මට ඇති වුණේ මොන වගේ හැඟීමක් ද කියල මට වචන වලින් විස්තර කරන්න බැරි තරම්...
පැය 8කට වඩා වැඩි කාලයක් සූතිකාගාරයේ ඉඳන් අනික් අම්මලාගේ වේදනාවල් වල හඬ, සතුට, එන යන දොස්තරලා, midwife මිස්ලා, nurse ලා, ඉපදුන ගමන් අඬන බබාලා දිහා බලාගෙන මම මොනවද කල්පනා කරේ කියල මට තාමත් මතක නෑ. මගේ ඇස් පියවෙනවා, ආයෙ මං අඬනවා, උගුර වේලෙනවා.... මං හරි ආයාසයකින් එක nurse කෙනෙක් දිහා බලන් හිටියා. වයස 22-23ක් වගේ වුණු ඇය සැරින් සැරේ මං ගාවට ඇවිත් ඔලුව අත ගෑවා. තුන් හතර පාරක්ම මට ලා රස්නෙ උණු වතුර ටිකක් ගෙනත් පෙව්වා. ඒ මිස්ට යන්න නොදී මං එයාගෙ අතින් අල්ලගෙන කිව්වා "අනේ යන්න එපා" කියල. තවත් වෙලාවකදි මං ඇහුවා "අනේ අම්මට එන්න කියන්නකො" කියලා. තවත් වෙලාවකට "අයියාට එන්න කියන්නකො මාව එක්කගෙන යන්න කියන්න " කියල මම කෑ ගැහුවා. ඒ මිස් ඔලුව අතගාලා කිව්වා.... "බය වෙන්න එපා අම්මා එළියෙ ඉන්නවා, තාත්තලා ට නම් මේ පැත්තට එන්න දෙන්නෙ නෑ, ward එකට දැම්මම බබාගෙ තාත්තාට එන්න පුළුවන්" කියලා. ඊට පස්සෙ මොනා වුණාද කියල මට මතකත් නෑ.
මට මතක මගේ ඇස් අරින අරින ගානෙ පියවෙද්දි, බොඳ වෙවී දේවල් පෙනෙද්දි, ලේ තැවරුණු, කෑගහල අඬන ඔයාව මගේ ඇස් වලට උඩින් උස්සගෙන midwife මිස් කෙනෙක් "මේ කවුද?" කියල කීප සැරයක්ම අහන හැටි! තුන් හතර පාරක්ම එහෙම අහද්දී පියවි සිහියට ඇවිත් "මගේ පුතා" කියල මම කිව්වට පස්සෙ එයා ඔයාව අරගෙන ගියා. මං හිතන්නෙ මට නින්ද යන්නැති එහෙම්ම... ආපහු අර චූටි මිස් ඇවිත් මාව ඇහැරවල කිරි එකක් පොවලා ඔයාව මං ගාවින් ගෙනත් තිබ්බා... කිරි දෙන්න කියලා. එතකොටයි මම මුලින්ම ඔයාගෙ මූණ හරියටම දැක්කෙ!
"දෙයියනේ මගෙ දරුවා!" මට සතුටු වගේම හරි ආඩම්බර හිතුණා... "Hello, My Sunshine!" ඒ තමයි මං ඔයා එක්ක කතා කරපු පලවෙනි වචන පේලිය. මං හිතන්නෙ ඒ වෙලාවෙ ඔයා වෙනුවෙන් මම ආයෙත් ඉපදුණා!
ජීවිතේ මං විඳපු ලොකුම වේදනාවයි, ලොකුම සතුටයි එකම දවසක පැය ගානක් ඇතුළතදී එහෙම සටහන් වුණා....| 2026 මාර්තු 24 🩵 ඔයා ඉපදුණු, මම අලුතින් ඉපදුණු දවස... ✨
අදට මාස 4ක් ගෙවිලා ගිහින්... ඒ තරම් ඔයා ලොකු වුණාද කියල දැනෙන්නෙම නැතුව. ඉතින් මගේ රත්තරං, සාම්ප්‍රදායික අම්මලා වගේ ගෙදරට වෙලා දැලි ගාගෙන චූ නාගෙන ඉන්න අම්මෙක් විදියට ඔයාට මාව පෙනෙන්නෙ නැති වෙයි. ඔයාව ගෙදර තියලා මේ අම්මා Office යයි. ඔයාව උකුලේ තියාගෙන වෙලාවකට Lecture recordings බලයි. තව වෙලාවකට Class කරයි. Assignments කරයි. හැබැයි දවසක "ඔයාවත් තුරුලෙ තියාගෙනම ජීවිතේ දිනපු අම්මෙක් විදියට ආපස්සට හැරිලා බලද්දි අපි දෙන්නටම සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් මම ඔයාගෙ නමට ලියනවා!"
ඔයා ලොකු වෙනකොට මට ආඩම්බරයි තමයි... ඒත් ඔයා හිමින් ලොකුවෙන්න කියලා මගේ හිත මුමුණන වාර අනන්තයි... හැම අම්මා කෙනෙක්ම එහෙම වෙන්නැති...
මේ අම්මා :
"ටිකක් වැඩියෙන් එහෙම වෙන්නැති" 🥺💗
මගේ හුස්ම ටිකට... තුනුරුවන්ගෙ සරණයි!!!
-ආදර අම්මා | ගයූ ✍🏻