10/11/2024
දැනුමට යමක්...
නැවක් නැංගුරම් දමන්නේ නැව ජලයේ ගසාගෙන යාම වැළැක්වීමට. නැංගුරම් දාන්න බැරි තරම් ගැඹුරක් තියෙන වේලාවට නැව ජලය මත පාවේවි තියෙනවා. එකට අපි කියනවා Drift වෙනවා කියලා. සමහර වරායන් තියෙනවා Cargo Operation එහෙමත් නැතිනම් භාණ්ඩ හුවමාරු සිදු වෙන්නේ නැව නැංගුරම් දාලා තියෙන කොට. හොදම උදාහරණය ලංකාවේ නොරොච්චොලේ. නොරොච්චොලේ ගල් අගුරු බලාගාරයට ගල් අගුරු ගේන නැව් නොරොච්චොලේ මුහුදේ නැංගුරම් දානවා. කුඩා යාත්‍රා (Barge) වලට ගල් අගුරු මුහුදෙදිම ගොඩ බානවා. එහෙම නැතිනම් නැවක් වරාය තුලට ගිහින් ලණු වලින් ජැටියට තියලා ගැට ගහනවා නැව චලනය වන එක වලක්වන්න.
ඒක තමයි Mooring Operation කියන්නේ. Mooring Operation / Anchoring කියලා කියන්නෙ බොහොම ආරක්ෂිතව කරන්න ඕන ක්‍රියාවලි දෙකක්. ඕන තරම් අනතුරු වෙන්න පුළුවන් වගෙම වේලත් තියෙනවා.
නැවක් වරායකට එන්නේ කොහොමද? මුලින්ම කියන්න ඕන මම කියන දෙවල් මගෙ පරාසයේ දැනුමෙන් කිවට, මිට වඩා හොදට විස්තර කරලා කියන්න කපිතාන් කෙනෙකුට පුළුවන්. මට මග හැරුණ දෙවල් තියෙන්නත් පුළුවන්.
උදාහරණයක් කියන්නම්. හිතන්න නුවරඑළියේ ගොවියෙක් කැරට් වගාකලා කියලා. ඔහු සතුව කැරට් 1000kg තියෙනවා. ඉතින් ඔහු එක විකුණනවා අස්වනු නෙලපුවාම. කොළඹ මාර්කට් එකේ කැරට් හොද ඉල්ලුමක් තියෙනවා. නමුත් කොළඹ හෝ ඒ අවට කැරට් වගා කරන්නේ නෑ. කැරට් ඕනනම් නුවරඑළිය වගේ ප්‍රදේශයකින් කොළඹට කැරට් ප්‍රවහනය කරන්න ඕන. ඔන්න දැන් අතරමැදියෝ එළියට එනවා. නුවරඑළියේ ඉන්න ව්‍යාපාරිකයෙක් අර ගොවියාගෙන් කැරට් ටික මිලදි ගන්නවා. ඔහු ඒ කැරට් විකුණනවා කොළඹ ව්‍යාපාරිකයෙකුට. නැතිනම් ඔහුම ඒ වෙළදාම සිදුකරනවා. ඒ කියන්නේ අතරමැදියෝ එකක් හෝ කිහිපයක් ඉන්න පුළුවන්. දැන් තමයි ගැටළුව. ගත්ත කැරට් ටික කොළඹට අරන් එන්න ඕන. ඉතින් එකට ප්‍රවහන මාධ්‍යක් අවශ්‍යයි. කොච්චියේ දාලා එවන්න පුළුවන්. බස් එකක ගෝනි කිහිපයක් දාලා එවන්න පුළුවන්. නැතිනම් ලොරියක් වගේ එකක එවන්න පුළුවන්. සමහර ව්‍යාපාරිකයන්ට තමන්ට කියලම ලොරි තියෙනවා. සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා ඔවුන්ට ලොරි තියෙනවා. ඔවුන් එවා කුලියට දෙනවා අවශ්‍ය වේලාවට. නැවක සිද්ද වෙන්නෙත් ඔන්න ඔය දේම තමයි. මම අත්දැකපු ඒ වගෙම හැමොට අදහසක් තියෙන නොරොච්චොලෙට ගල් අගුරු ගේන විදියෙන්ම කියන්නම්. මේ Bulk Carrier නැවකට අදාලවයි.
නොරොච්චොලේ ගල් අගුරු බලාගාරයක් තියෙනවා. එකට ගල් අගුරු අවශ්‍යයි. ලංකාවේ ගල් අගුරු නෑ. ගල් අගුරු ආනයනය කරන්න ඕන. ගල් අගුරු තියෙන රටවල් තියෙනවා. අප්‍රිකානු රටවල්, ඉන්දුනිසියාව, රුසියාව හා වෙනත් රටක්. මේ ගල් අගුරු හැම එකක්ම එක වගේ නෑ. සංයුතියේ පොඩි වෙනස්කම් තියෙනවා. දකුණු අප්‍රිකාවට දුර නාවික සැතපුම් 3500. දවස් දහයක් යනවා අවම. රුසියාවේ බොල්ටික් පැත්තේ වරායකට දුර නාවික සැතපුම් 8100. දවස් විසිතුනක් යනවා අවම. රුසියාවෙන් ගල් අගුරු ගන්නවට වැඩිය ලාබයි දකුණු අප්‍රිකාවෙන් ගන්න එක. කොහොමහරි බලාගාරයට අවශ්‍ය ගල් අගුරු දකුණු අප්‍රිකාවෙන් මිලදි ගන්නවායැයි සිතමු. මේ මිලදි ගන්න ගල් අගුරු අප්‍රිකාවෙ ඉදලා ලංකාවට ගේන්න නැව් භාවිතා කරනවා. හිතන්න X කියන පුද්ගලයට නැවක් තියෙනවා. ඔහු ඒක මේ වැඩෙට යොදවනවා .කොහොමද ඒ,
X ට අයිති නැවක් ඉන්දියානු මුහුදේ තියෙනවා. Cargo මොකුත් නෑ හිස්. X හොයනවා මේ නැවට වරායක්. එහෙමත් නැතිනම් භාණ්ඩ. Y කියලා පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට තියෙනවා භාණ්ඩ(ගල් අගුරු) ඔහුට අවශ්‍යයි නැවක්. ඔහු නැවක් හොයනවා. X ගේ නැව ගැන ඔහු දැන ගන්නවා. දැන් X හා Y සාකච්චා කරනවා. සාකච්චා යහපත්නම් X දැනුම් දෙනවා නැවට දකුණු අප්‍රිකාව දිහාවට යාත්‍රා කරන්න කියලා. නමුත් බොහොවිට X හා Y වෙනුවට අතරමැදියෝ තමයි සාකච්චා මෙහෙයවන්නේ. බොහොවිට මේකට නැවක් Charter කරනවා කියලා කියනවා. එක ලොකු කතන්දරයක්.
සාකච්චා ස්ථීරනම් නැවට දැනුම් දෙනවා ඉළග Loading Port එක හා Unloading Port එක. ඒ වගෙම ඒ වරායන් වල නියොජිතයන්ගේ විස්තර.
දැන් නැව සුදානම් කරන්න ඕන දකුණු අප්‍රිකාවෙන් නැවට ගල් අගුරු පටවන්න පුලුවන් විදිහට. නැව හොදලා, නැවේ අඩුපාඩු හරි ගස්සලා, ලියකියවිලි සුදානම් කරලා, කැම,වතුර,තෙල් ඕන නම් කලින්ම ඒවා ඉල්ලුම් කරලා නැව ලගාවෙනවා වරායට. නියොජිතයා වගෙම අයිතිකාරයා ඒ වගෙම අතරමැදියෝ පණිවිඩ, දැනුවත් කිරිම් නිතර කරනවා නැවට ඉදිරි ක්‍රියාමාර්ග ගැන. නැව වරායට එනවා. ගල් අගුරු පටවගන්නවා. පිටත් වෙනවා ඊළග වරාය බලා. ඔච්චරයි කතාව. ඒ වුණාට ඔය අතරමැද ගොඩක් ක්‍රියාවලි සිදුවෙනවා.
අදාළ වරායේ නියොජිතයා විසින් දැනුම් දෙනවා ඔහුට අවශ්‍ය ලියකියවිලි.
* Pre arrival papers - නැව වරායට එන්න කලින් email වලින් නියොජිතයට යවන ලියකියවිලි. ( Crew list, Maritime Declaration of Health, Required Vessel certificates & etc)
* On arrival papers - නැව වරායට ආවාට පස්සේ ඉදිරිපත් කරන්න ඕන ලියකියවිලි.
(For Immigration, Custom, Port authority, Qurrantine officer & etc)
ඒ වගේම නැවට තෙල්, ආහාර, වතුර, අමතර උපාංග, වෙනත් උපකරණ ඇනවුම් කරන්න ඕන. භාණ්ඩ වල මිල අනුව මේ ඇනවුම් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම නැවේ අළුත්වැඩියාවකට ගොඩබිමින් තාක්ෂණ ශිල්පීන් අවශ්‍යනම් ඒවත් කල් ඇතුව දැනුම් දිලා සුදානම් කර ගන්න ඕන. නැවට අදාල පරික්ෂා කිරිම් තියෙනවනම් (Audit වගේ) ඒවාට අදාලව නැව සුදානම් කරනවා.
නැව අදාල වරාය ලගට ලගාවුනාම නැව් සමාගම, නියෝජිතයන්, අදාල වරාය දැනුවත් කරන්න ඕන. කෙලින්ම වරායට යනවද නැතිනම් නැංගුරම් දානවද කියලා ස්ථීරවම මෙහිදි දැනගන්න පුළුවන්. නැව වරායට ඇතුළු වෙද්දි නියමු සහය(Pilot) ලබාගන්න ඕන. සමහර නැව් හා සමහර වරායන් වල නියමු සහය අත්‍යවශ්‍ය නෑ. නියමුවා නැවට ගොඩවෙනවනම් ඔහුට නැවට ගොඩවෙන්න අවශ්‍ය ඉනිමං(Pilot ladder හෝ Combination pilot ladder) සුදානම් කරන්න ඕන. නියමුවා නැවට ආවාම ඔහු නැවේ හැසිරවීම තමන් අතට ගන්නවා. එතැන් සිට ඔහු තමයි නැව අදාළ ජැටිය වෙත ආරක්ෂිතව අරන් යන්නේ. නැව පහසුවෙන් හා ආරක්ෂ්තව අරන් යන්න කුඩා Tug boat වල සහය ලබා ගන්නවා. නැව ජැටිය වෙත ලං වුනාම කපිතාන්ගේ නියෝග මත නැවේ කඹ වලින් නැව ජැටියට හේත්තු කරලා තියාගන්නවා(Mooring operation වෙනමම කතා කරන්න ඕන මාතෘකාවක්). ඊට පස්සේ Gangway(නැවත් ජැටියත් යා කරන පාලම) එක හදලා Gangway Watch එක පවත්වාගෙන යනවා. දැන් නැවට නියෝජිතයෝ, අදාල වරායේ නිළධාරීන් පැමිණෙනවා. ඔවුන් ආවාම අදාල ලියකියවිලි භාර දිලා අදාල අවශ්‍යතා සපුරලා ඔවුන් පිටත් කරලා අරිනවා. ඔවුන් සමග බොහෝම සිරුමාරුවට ගනුදෙනු කල යුතුයි. දැන් නැවේ ගල් අගුරු පටවන ටැංකි(Cargo hold) පරික්ෂා කරන්න කට්ටිය එනවා. ඒ පරික්ෂණය සමත් වුනොත් නැවට ගල් අගුරු පටවන්න අවසර ලැබෙනවා. අසමත් වුනොත් සමහර විට නැවත ගැඹුරු මුහුදට යන්න වෙන්න පුළුවන්. ඒ වගේම වරායේ පිරිසක් ඇවිත් ටැංකි නැවත හොදන්නත් පුළුවන්. ගල් අගුරු වගේ දේකට ඒතරම් හොදට සේදුවේ නැති වුනත්, සීනි, හාල් වගේ ආහාර නම් පටවන්නේ ටැංකි හොදට පිරිසිදුව තිබීම අනිවාර්‍ය්යි. ඒ අතරේ නැවේ Draft survey එකක් කරනවා නැවේ මුලික බර බලාගන්න. ගල් අගුරු පටවලා ඉවර වෙලා නැවත Draft survey එකක් කරනවා නැවේ අවසාන බර බලන්න. ඒ අතර වෙනසින්(සරලව) නැවට පටවපු ගල් අගුරු වල ප්‍රමාණය මැන ගන්න පුළුවන්.
නැවට ගල් අගුරු පටවලා ඉවර වුනාම Cargo hold වහලා ලියකියවිලි අවශ්‍යනම් ඒවා සුදානම් කරලා දැනුම් දෙන්න ඕන නැව පිටත් වෙන්න සුදානම් කියලා. මුලින් වගේම පරික්ෂා කිරිම් වලින් පසුව නැවට වරායෙන් පිටත් වෙන්න අවසර ලැබුණාම නියමුවා(Pilot) ඒ වගේම Tug boat වල උපකාරයෙන් නැව ගැඹුරු මුහුදට අරන් යනවා. එතැන් සිට නැව ඊළග වරාය බලා යාත්‍රා කිරිම සිදු වෙනවා.
මේ සටහන Bulk carrier නැවකට අදාලවයි. Container, Tanker හෝ වෙනත් නැවකට මේ ක්‍රියාදාමය තරමක් වෙනස් වෙන්න පුළුවන්. සරලව සංක්ෂිප්තව කිවට මීට වඩා ගොඩක් දේවල් තියෙනවා. මේ වගේ ක්‍රියාවලියක් විස්තර කරන්න හොදම පුද්ගලයා නැවක කපිතාන්වරයෙක්. කෙසේ වුවත් වැරදි අඩුපාඩු තියේනම් නිවැරදි කරන්න පුළුවන්.
© මදුෂාන් පියරත්න සොහොයුරා ගේ ෆේස් බුක් ගිණිමෙන් උපුටා ගන්නා ලදී..
Photo credit goes respective to original owner