06/03/2024
දෙගල්දොරුව රජමහ විහාරය පිහිටියේ මහනුවර, පාත දුම්බර, අමුණුගම ගමෙහිය. බටහිරට බැවුම් වුනු ගලක මීටර් 12ක් පමණ උස ලෙනක් තුල මහනුවර යුගයේදී කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මෙහි ඉදිකිරිම ආරම්භ කරන ලදුව, රාජාධිරාජසිංහ රජතුමා විසින් ක්‍රි.ව.1786 දී තනා නිම කරන ලදී. ඉන්පසු මෙය පිළිගන්වා ඇත්තේ මොරතොට ධම්මක්ඛන්ධ නාහිමියන්ටය. මෙහි ඉදි කිරීම පිලිබඳ විස්තර දෙගල්දොරුව තඹ සන්නසෙහි දැක්වේ. විහාරය ඉදිරිපස හේවිසි මණ්ඩපය පසු කාලීනව මිගස්තන්නේ අදිකාරම විසින් ඉදිකරවන ලද්දකි.
වෙස්සන්තර, මහා සුතසෝම, සත්තුභත්ත, මහා සීලව, ක්‍ෂාන්තිවාදී,අයෝඝර ආදී ජාතක කථා, මාර පරාජය, පොලව මහි කාන්තාව, සදිව්‍යලෝක , සූ විසි විවරණ, ආදී සිතුවම් වලින් හා මෝස්‌තර සිතුවම් වලින් මෙම විහාරය අලංකාර වී ඇත. මේ චිත්‍ර ඇඳ ඇත්තේ එවකට ඉතා දක්ෂ ගෘහනිර්මාණ ශිල්පියෙකු හා වඩුකාර්මිකයෙකුවූ දේවේන්ද්‍ර මුලචාරී, හිත්තර (හිරියාල) නයිදේ, නිලගම පටබැඳි හා දෙවෙරගම්පොල සිල්වත්තැන නම්වූ ස්වාමින්වහන්සේ නමක් විසිනි.
මේ සිතුවම් ඇඳ ඇත්තේ විහාරගෙය හා මණ්ඩපය වෙන්කෙරෙන බිත්තියේ දෙපස හා විහාර ගෙයි ඇති ස්වාභාවික ගල් පියස්සේය. බිත්තිය කොටස් කීපයකට බෙදා එය නැවත සමාන තීරු පහකට බෙදා ජාතක කථා සිතුවම් කොට ඇත.
අඛණ්ඩ කථන මාර්ගය අනුව ඇඳි මේ සිතුවම්, ජාතක කතා සිතුවමට නගද්දී එම කතාවේ විවිධ අවස්ථා වෙන් වෙන් වූ ආකාරයකට නොව එක දිගටම සිතුවම් කර ඇත. වෙස්සන්තර ජාතකයේ එන ඇලි ඇතුන් දන්දීම පෙරහරක් වගේ පෙනුනත් එහි තිබෙන්නේ එකම ඇතුගේ විවිධ අවස්ථාවන්ය. මේවායේ තවත් විශේෂත්වයක් වන්නේ මිනිසුන්, ගස්වැල්, සතුන්,ගොඩනැගිලි ආදිය එකිනෙකට සාපේක්ෂව අනුපාතය වෙනස් නොකොට එකම ප්‍රමාණයට සියල්ල ඇඳ තිබීමයි. ඒ වගේම මිනිස් රූප කිසිවක් නරඹන්නාට පිටුපා සිටින ආකාරයට ඇඳ නැත