23/02/2024
ශ්‍රී පාදේ ගියාට සීත ගගුල ගැන මේ දේවල් දැනුවත්ද?
හැමෝටම දැනගන්න Share කරන්න 🌼🙏
සීත ගගුලට අතීතයේ සිට ආවොත් .....😮
💦ජල ස්නානය කියන්නේ කායික පවිත්‍රතාවය පිණිස මිනිසුන් ඉටු කරගන්නා මූලික මිනිස් ක්‍රියාකාරකමක්. ඒ නිසාම මානව අවශ්‍යතාවයක්ද වෙනවා. ජලයත් සමග පවිත්‍රත්වය පිණිස හේතුවන විවිධ සේදුම් ද්‍රව්‍යයන් ක්‍රිස්තු පූර්ව යුගයන්වල සිටම විවිධ සංස්කෘතීන්ට අයත් මිනිසුන් මේ සේදුම් කාර්යයන්ට භාවිතා කළ බවට සාක්ෂි තිබෙනවා. ඒ අතරින් ලොව මුල්ම සබන් වර්ග,කහ,දෙහි අගුරු ගොඩක් සංස්කෘතීන්ට පොදුයි.
මේ ආකාරයෙන් අතීතයේ සිටම ජල ස්නානය මූලික මිනිස් ක්‍රියාකාරකමක් වීම නිසාම ඒ ස්නානය ආගමික චාරිත්‍රයක් බවට පත්වීමත් නිරායාසයෙන් සිදු වුණා. ආහාර පිදීම, වස්ත්‍ර පිදීම, වගේ ආගමික චාරිත්‍රයත් පදනම සකස් වුණේ මේ වගේ මූලික මිනිස් අවශ්‍යතා සඳහා ඉටුකළ ක්‍රියාකාරකම් මගිනි. ලෝකයේ පැරණිම ආගම් ඇතිවුණු ඊජිප්තුවේ ඉපැරණි පූජකයන් තමන්ගේ වන්දනා කටයුතු වලට පෙර හා පසු නයිල් ගඟේ ජලයෙන් පිරිසුදු වීම අනිවාර්යයෙන් ඉටු කළ බවට සාක්ෂි තිබෙනවා. හින්දු සහ බෞද්ධාගම බිහිවුණු අතීත ඉන්දීය පරිසරය තුළත් මේ විදිහටම තමන්ගේ ආගමික කාර්යයන්ට කලින් ස්නානය කොට පිරිසිදු වීමේ චාරිත්‍රයක් ගංගා ආශ්‍රිතව නිර්මාණය වුණා. විශේෂයෙන් බුද්ධගයාව, රාමේශ්වරම් වගේ ඉන්දීය භූමියේ තිබුණු ප්‍රසිද්ධ වන්දනා ස්ථානයන්ට ගමන් ගිය අතීත බෞද්ධයන් සහ හින්දුන් ඒ ආගමික ස්ථාන වන්දනා කරන කලින් අසල තිබෙන ගංගාවකින් හෝ පොකුණකින් පවිත්‍ර වුණා.
අපේ රටෙන් විහාරස්ථාන ආශ්‍රිතව මෙන්න මේ කාර්යයටම ඒ කියන්නේ වන්දනාකරුවන්ට පිරිසිදු වීම පිණිස විහාරයට ඉදිරියෙන් විශාල දිය බඳුනක් තිබුණු "දොරටු පැන් මඩි" නම් ශාලාවක් තිබුණු බව ජේතවනාරාමයේ සෙල්ලිපියකින් හෙළිවෙනවා.
😮මේ සම්බන්ධයෙන් අපේ හිමිවරුන් මෙවැනි අදහසක් දක්වනවා. " අතීතයේ වන්දනා ගමන් වල සැලකිය යුතු දුරක් පයින් ගමන් කරන්න වුනා. ඉතින් ස්ථානයකට යනකොට දහඩිය දූවිලි වලින් නෑවිලා. ඒ නිසා භූමියට ඇතුළු වෙන්න කලින් නාලා ගත පිරිසිදු කරගෙන කිලිටි ඇඳුම් ඉවත් කරලා අලුත් ඒවා ඇඳගෙන වන්දනාවට ගිය බව පැහැදිලියි. " මෑත ඉතිහාසය තුළ මෙරට සිටි ප්‍රකට බෞද්ධ පඩි රුවනක් වුනු ආචාර්ය වල්පොල රාහුල හිමියන් උන්වහන්සේගේ "History of Buddhism in Ceylon" කියන බෞද්ධ ඉතිහාස කෘතියෙන් විස්තර කරනවා උන්වහන්සේ පොත ලියන අවධියේන් ('50 දශකයට පෙර) සාම්ප්‍රදායික ගම්මානවල මිනිස්සු වන්දනා ගමනක් ගියාම අනිවාර්යෙන් විහාරයට යාබදව ඇති ළිඳෙන් නා පිරුවට හැද තමයි විහාරස්ථානයට ගමන් කළේ කියලා. දැන් පැහැදිලි වෙන්න ඕනෙ ආගමික ස්ථානයට සහ තමන්ගේ ශාස්තෘවරයා පිළිබඳ තිබෙන ගෞරවය නිසා අපිරිසිදුව විහාරයට නොයාම පිණිස තමයි මේ ස්ථානය කොට පිරිසුදු වීමේ සිරිත නිර්මාණය වුණේ කියලතමයි.
🌺 ඉතින් ශ්‍රීපාදස්ථානයට කරුණා කරන්න කලින් සීත ගඟුලෙන් නෑමත් කිසිසේත්ම මිත්‍යාවක් හෝ අරුත්සුන් සිරිතක් නොවේ. මේ පැහැදිලි කරපු ස්නානයන්ට අනුරූපී චරිතයක් ආගමික ශුද්ධ භූමිය සහ ලෞකික භූමිය සංකේතාත්මකව වෙන් වෙන නොඉඳුල් දියදහර කිහිපයක් මේ හිමේ තිබෙන නිසා, අතීත ජේතවනාරාමයේ වගේ දොරටුපැන් මඩි ශාලාවක් ශ්‍රී පදස්ථානයට අවශ්‍ය නෑ. ශ්‍රී පාදස්ථානයට තියෙන්නේ ස්වාභාවික දොරටුපැන් මඩි කිහිපයක් ඒ තමයි හැම පැරණි ගමන් මාර්ගයකින්ම හමුවෙන සීත ගඟුල මේ සිරිත් දිහා මේ අයුරින් අපි යථාර්ථවාදීව දකින්න ඕනේ. ස්නානේ වැදගත්කම අපි කවුරුත් මිනිසුන් වශයෙන් දන්නවා.
ඒ වගේම සීත ගඟුල කියන්නේ නා පිරිසිදු වන තැනක් විතරක් නෙවෙයි. ඉස්සර කිරි කෝඩු කාරයෝ පිරුවට ඇඳලා සූදානම් වුණේ එතනදි.
ඇයි මේ හැම පාරකම සීත ගඟුල් තියෙන්නේ?
හැමෝම දන්නා පරිදි සිරිපාදේ යන ප්‍රධාන පාරවල් තුනෙන් විතරක් නෙවෙයි උඩ මාලිබොඩ පාරෙන් ගියත් සීත ගඟුල කියලා වතුර පාරක් හම්බ වෙනවා. ඒ හැම වතුර පාරකටම කියන්නේ සීත ගඟුල කියලා. මේ පැහැදිලි කිරීම ඒ ගැන හරියට දැනගන්න ඕන අයට.🙄
සීත ගගුල සිරිපා කරුණාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?😮
අතීතයේ පටන් සිරිපා වන්දනාවට යන්න වත් පිළිවෙත්, සිරිත් විරිත් ගොඩක් තිබුනා. ඒවා එදා ඉඳන් අද වෙනකන් කටින් කට පොතින් පතින් ආභාෂය වෙලා තියෙනවා. අන්න ඒ පිළිවෙත් අතර කෝඩු කාරයින්ට කල යුතු පිළිවෙතක් මෙන්න මේ සීත ගගුල කියන වතුර පහර එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ.
ඇත්තම කිවොත් එක සම්බන්ධ වෙලා තියෙන්නේ සිරිපා කරුණාවේ හම්බ වෙන අන්තිම දිය දහර එක්ක. කෝඩු කාරයින්ට විතරක් නෙවෙයි ඕනෑම වන්දනාකරුවෙක්ට දෙහි ඇඹුල් යනාදිය හිස තවරා මේ සීතල දිය දහරින් ස්නානය කර, පවිත්‍රවී ඉහළට 'කරුණා කිරීම' ඇරැඹීම සාමාන්‍ය සිරිත වෙනවා. ඔන්න ඕක තමයි චාරිත්‍රය වෙන්නේ.
මෙන්න මේ චාරිත්‍රය කරන්න මිනිස්සු කාලයක් තිස්සේ පාවිච්චි කරපු වතුර පාර සීත ගඟුල ලෙස හඳුන්වන්න පටන් ගත්තා. එක මගක තිබ්බ එක හැම මගකම එසේ ස්නානය කල යුතු වතුර පහර එම නමින් හඳුන්වන්න පටන් ගත්තා. එත් හරියට බැලුවොත් සීත ගඟුල කියලා අපිට කියන්න පුළුවන් නිශ්චිත ගඟුලක් නැහැ.ඒ ජාල මාර්ග සියල්ල ලංකාවේ ප්‍රධාන ගංගා වන කළු සහ කැළණි වලට සමනල අඩවියෙන් ජලය ගෙන යන අතු ගංගා වෙන්නේ.
🌼හැටන්-නල්ලතන්නිය පාරේ සීත ගඟුල
මීටර් 1955ක් පමණ උස යකා ඇඩු කන්දෙන් හට ගන්න දියවර හැටන් පාරේ සීතගඟුල අම්බලම අසලදී සීත ගඟුල ලෙස ගලා යන අතර එම වතුර පහර සැබවින්ම මස්කෙළිය ඔය පෝෂණය කරන්න මා උස්සා කැලේ ජලාශයට ගලා යන දියවරයි. මෙම වතුර පහර අලංකාර දියඇලි දුසිමකට වඩා නිර්මාණය කරමින් ජලාශයට එකතු වී මස්කෙළිය ඔය බවට පත් වී පසුව කැළණි ගඟ ලෙස එකතු වීම සිදු කරයි.
🌼රත්නපුර-පලාබද්දල පාරේ සීත ගඟුල
මෙම සීත ගඟුල හමුවන්නේ රත්නපුර පාරේ ගෙත්තම්පාන පසුකර ගල් වංගෙඩිය අම්බලමට කලිනි. මෙය සෘජුවම කළු ගඟ ලෙස වුවද අපිට භාවිතා කල හැකි නමුදු මෙය කුරුවිට හරහා ගලා යන කුරු ගඟේ මුල් දියවරයි. කළු ගඟ සහ කුරු ගඟ පටන් ගන්නේ බෑන සමනල කන්දෙන් වුවද කුරු ගඟ කළු ගඟට වැටෙන්නේ කුරුගංමොදරිනි. මෙම මාර්ගයේ හමුවන සීත ගඟුල නොහොත් කුරු ගඟ එරත්න මාර්ගයේ සිත ගඟුල අම්බලම අසලදී (තුම්මෝදරදී) උඩ මාලිබොඩ මාර්ගය පැත්තේ සිට ගලාගෙන එන සීත ගඟුලට එකතු වේ.
🌼කුරුවිට-එරත්න පාරේ සීත ගඟුල
මෙම මාර්ගයේ යන විට සීත ගඟුල අම්බලම අසලින් ගලාගෙන යන දියවර ලෙස හඳුන්වන සීත ගඟුල වන්නේ උඩ මාලිබොඩ මාර්ගයේදී අන්තිමට තරණය කරන ගංගාවයි. මෙම ස්ථානය තුම්මෝදර ලෙසද හඳුන්වයි. මන්ද ඉහතින් කි කුරු ගඟට මෙතැනදී මෙන සීත ගඟුල එකතු වන බැවිනි. මාරාන්තික ස්ථානයක් වන මෙහි දියේ ගිලි බොහෝ දෙනෙක් මිය ගොස් ඇත. රන් තැඹිලි අතු ගසාගෙන එන දියවර ලෙස හඳුන්වන්නේ මෙම ස්ථානයේදී ගලන සීත ගන්ගුලටයි.
🌼උඩ මාලිබොඩ පාරේ සීත ගඟුල
මෙම සිත ගඟුල ලෙස හඳුන්වන්නේ පන්දෙනිය ඔය පසු කර එන විට මාර්ගයේ අවසානයට හමුවන විශාල දියවරයි. ඇත්තටම මෙය මහ පිදුරුතලාව කන්දෙන් ජනනය වන දිය වරකි. මෙම දියවර මහා පිදුරුතලාව සහ යකා ඇඩු කන්දෙන් සැදී ගලන දිය වරක්ද වේ. එසේ බලන කල හැටන් පාරේ සීත ගන්ගුලටත් උඩ මාලිබොඩ පාරේ සීත ගන්ගුලටත් උපත දෙන්නේ යකා ඇඩු කන්දෙනි. එනම් එම කන්දේ සබරගමු පලාතට අයත් කොටසින් මෙම සිත ගන්ගුලත් මධ්‍යම පළාතට අයත් කොටසින් හැටන් පාරේ සිත ගගුලත් නිර්මාණය වේ.
හිමේට ඇතුලුවන මායිම ලෙස සලකන සීත ගඟුලේ දී ඕනෑම පාරකින් යන කෝඩුකාරයන් දෙහි කෑල්ලක් හිසේ ගා ස්නානය කිරීම අත්‍යවශ්‍යය. සමහරු දියේ ගිලී ස්නානය කරති. සමහරු වන්දනාවේ යනවිට රැගෙන යන කුඩා බාල්දියකින්, ටින් එකකින් වක්කරගෙන දියනාති. සබන් ගෑමක් නොකෙරයි. ඒවෙනුවට එක්කෝ දෙහි කෑල්ලක් ඇඟේ උලා ගනී. නැත්නම් එනවිට නිවසේදි සාදාගෙන ආ කහ මිශ‍්‍ර නානු මිශ‍්‍රණය ඇඟේ ගා ගනී. සීත ගඟුලේ සිරිපා මහ හිමයට සම්බන්ධ කොටසේ ජලයේ වරින් වර පහළට පාවෙන නොයෙක් පලතුරු වර්ගවල කැබැලි දක්නට ලැබෙන බව කියැවේ.මෙවා මහ හිමයේ සැඟවුණු 'දිවා ගුහාව අසල පලතුරු උයනින්' ජලයට එකතු වන බව ද, එම උයනට කෙනෙක් ගියහොත් ඇති තරම් පලතුරු අනුභව කළහැකි නමුදු, ගෙන එන්නට උත්සාහ කළහොත් පාර වැරදී මංමුළා වන බවට මතයක් පවතී.
කෙසේ හෝ හිමයේ ඇති මෙම දිය දහර සැබවින්ම අධික සීතලය, ගමන් විඩාව නිවන ඔසුවක් බඳුය. එසේම මලුව වඳින්නට පෙර පිරිසිඳු විය යුතු ස්ථානයකි. මෙම දිය පහර ආශ්‍රිතව ස්නානය කිරීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතුය. මන්ද ක්ෂණික ගංවතුර සහ ගැඹුරු දියවළවල් පවතින බැවිනි. එම නිසා සිරිපා කරුණාවේ යන අය මෙම සීත ගඟුල් මොනවද මේවයින් පෝෂණය වන ගංගා මොනවාදැයි දන සිටීම වැදගත් වේ.💪
🍂"ඈත සිටම එන පැන් ගඟුළ ල්ලා
පාද එබූ මුනිඳුගේ දෙපතු ල්ලා
දෑතම දික්කර ගල අ ල්ලා
සීත ගඟුලෙ පැන් නා සිත ලො ල්ලා"🌿
මේ අතීතයේ සිරිපා ගමන ගැන රචිත පුරාණ හිමගත වර්ණනාව ග‍්‍රන්ථයේ සීත ගඟුල ගැන ලියැවුණ කවියකි.
සමහර භික්ෂූන් පවා මේ සිරිත් විවේචනය කරන්න පුළුවන්. නමුත් මෙය අපේ සංස්කෘතිය විවේචනය කරන හෝ නොකරන එක ඔබේ සිතැඟි පරිදි කරන්න.
"උපුටා ගැනීම් කිහිපයකින් සකස් කරන ලද්දක් 🙏❤️ "
පොඩි හරි දෙයක් දැනුවත් උනා නම් "Travel Bro " page එකත් follow කරලා like එකක් දාගෙන යමු ලමයී ❤️