13/01/2026
ගෙවල් හදලා ඉවර වෙද්දි... දරුවෝ හැදිලත් ඉවරයි.
"තාත්තේ, අපි ක්‍රිකට් ගහමුද?"
"අද බෑ පුතේ... තාත්තාට වැඩ ගොඩක් තියෙනවා. මේ ඔක්කොම කරන්නේ ඔයාලා වෙනුවෙන්මනේ..."
අපි හැමෝම දුවනවා. හුස්ම ගන්න වෙලාවක් නෑ. අපේ එකම හීනය දරුවන්ට "රජ මාළිගාවක්" වගේ ගෙයක් හදලා දෙන්න. ඉතින් අපි අවුරුදු ගාණක් සිමෙන්ති, ගඩොල්, යකඩ එක්ක ඔට්ටු වෙනවා. අම්මා රත්තරන් බඩු උකස් තියනවා, තාත්තා නිවාඩු නැතුව වැඩ කරනවා. "මේ කාමරේ ලොකු පුතාට... මේ කාමරේ පොඩි දුවට..." කියලා හීන මව මව අපි මහන්සි වෙනවා.
අන්තිමට අවුරුදු 20 කට විතර පස්සේ ගෙදර වැඩ ඉවර වෙනවා. ටයිල් කරලා, තට්ටු දාලා, ෆෑන් හයි කරලා, ලස්සන මාළිගාවක් හැදෙනවා.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි...
ඒ ගෙදර වැඩ ඉවර වෙද්දි, අර තාත්තත් එක්ක ක්‍රිකට් ගහන්න ආසාවෙන් හිටපු පුංචි පුතා ලොකු මිනිහෙක් වෙලා ඉවරයි. තාත්තාගේ උරහිසේ එල්ලිලා ඉන්න ආස කරපු දුව දැන් වෙනම ලෝකයක් හොයාගෙන ගිහිල්ලා ඉවරයි.
අද ඒ ලොකු මාළිගාවේ කාමර වල දොරවල් වැහිලා. කුස්සියේ උයන බත් එක බෙදාගන්න කෙනෙක් නෑ. තාත්තා රෑට ලයිට් නිවන්න කලින් උඩ තට්ටුව දිහා බලලා සුසුම් හෙලනවා. "අපරාදේ... කාට හදපු ගෙයක්ද මේ?" කියලා හිතෙනවා ඇති.
දෙමාපියනි, පොඩ්ඩක් හිතන්න.
අපි දරුවන්ට සැප සම්පත් දෙන්න ඕනේ තමයි. හැබැයි දරුවෙක්ට වැඩියෙන්ම ඕනේ කරන්නේ 'සැප' නෙවෙයි, 'ආදරය'. අපි හිතනවා අපි රෑ දවල් නැතුව වැඩ කරලා එයාලට ගොඩක් සෙල්ලම් බඩු අරන් දුන්නම, පන්ති දැම්මම යුතුකම ඉෂ්ට වුණා කියලා.
නෑ... දරුවෙක්ට ඕනේ තාත්තා අරන් දෙන ක්‍රිකට් බැට් එක නෙවෙයි, ඒ බැට් එකෙන් ගහද්දි උඩ පැනලා අත්පුඩි ගහන තාත්තව. දරුවෙක්ට ඕනේ අම්මා හදන රස කෑම එක විතරක් නෙවෙයි, ඒක කවන ගමන් කතන්දරයක් කියන අම්මව.
අපි පොඩි කාලේ එයාලව මග ඇරියොත්, "මට වෙලාවක් නෑ" කියලා එයාලව ප්‍රතික්ෂේප කළොත්, ඒ දරුවෝ හුරුවෙනවා අම්මා තාත්තා නැතුව තනියම ජීවත් වෙන්න. ඉතින් කවදාහරි ඔබ වයසට ගිහින් දරුවන්ගේ ආදරේ බලාපොරොත්තු වෙන දවසට, දරුවෝ ඔබව මග ඇරලා යාවි. මොකද, "කාර්යබහුල වෙන්න" එයාලට ඉගැන්නුවේ අපිම නිසා.
ඒ නිසා, ගඩොල් බිත්ති හදන ගමන්ම, දරුවන්ගේ හිත් ඇතුලේ ආදරේ බිත්තිත් හදන්න. අදම ගෙදර ගිහින් ඒ පොඩි එකාව තුරුල් කරගන්න. බිම පෙරළිලා සෙල්ලම් කරන්න. විනාඩි 10ක් එයාගේ කතාව අහන් ඉන්න.
මොකද දවසක මේ ගෙවල් දොරවල් දිරලා යයි, පාට වෙනස් වෙයි. ඒත් ඔබ අද දරුවෙක්ට ලබා දෙන ඒ ආදරය, මතකයක් විදිහට සදාකාලිකවම තියේවි.
ලොකු ගෙවල් වල තනියම ඉන්න දෙමව්පියෙක් නොවී, පුංචි ගෙදරක හරි දරුවෝ එක්ක හිනාවෙලා ඉන්න දෙමව්පියෙක් වෙන්න.
MRJ Inspire